Tuesday, May 17, 2016

ගූගලීකරණය වූ නූතන මිනිසා

 

මිනිසා යනු හොද මතක ශක්තියක් ඇති බුද්ධිමත්ම සත්ව කොට්ඨාශයකි.අනෙකුත් ජීවීන්ට වඩා බොහෝ සෙයින් කරුණු මතක තබා ගැනීමට මිනිසාට හැකියාවක් ඇත.එපමණක්ද නොව කරුණු විශ්ලේෂණය කිරීම,වඩාත් සුදුසු කරුණු තෝරා බේරා වෙන්කර ගැනීමටද මිනිසාට මනා හැකියාවක් ඇත.විද්වතුන් පවසන පරිදි මිනිසාගේ මොළයේ මතක ධාරිතාව 3TB තරම් වේ.

තාක්ශණයේ විප්ලවීය වෙනස්කම් රාශියක් මේ වන විටත් සිදු වී හමාරය.පරිගණක තාක්ශණය ඒ අතරින් ඉදිරියෙන්ම සිටී.කාලයාගේ ඇවෑමෙන් මිනිසා අද තම ජීවිතයේ බොහෝ කටයුතු පරිගණකය ලවා ඉටුකර ගැනීමට හුරු වී සිටී.මේ අතරින් කරුණු සෙවීමට හා මතක තබාගැනීමට මැළිකමක් දක්වන බව නොරහසකි.මොළය වෙහෙසවමින් කරුණු කාරණා පරිගණකය ලවා ඉටුකර ගැනීමට වැඩි වැඩියෙන් පෙලඹී ඇත.

මේ හේතුව නිසා අද ඉතා කුඩා ගණනය කිරීමකට වුවද ගණක යන්ත්‍ර භාවිතයට හුරුවී සිටී.මේ නිසා මනෝමය හැකියාව සෑහෙන දුරකට මොට වී ඇති බව පිළිගත යුතු සත්‍යයකි.කරුණු සෙවීමට පොත පත පරිශීලනය කරනවාට වඩා ගූගල් වල පිහිට පැතීම සැබැවින්ම පහසුවකි.ගූගල් නිරන්තරයෙන් එම කාර්‍ය‍ය සදහා සැදී පැහැදී සිටී.මේ නිසාම ගූගල් වැනි සෙවුම් යන්ත්‍ර අද මිනිසාගේ පරම මිතුරෙකු වී හමාරය.

දිනපතා බිලියන ගණනක් මිනිසුන් ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා ඉතා විශාල ලෙස තොරතුරු සෙවීමට පෙලඹී ඇත්තේ එය Yahoo,Lycos,Bing,Altavista වැනි අනෙකුත් සෙවුම් යන්ත්‍ර වලට වඩා වේගයෙන් එකවර බිලියන 6 ක පමණ තොරතුරු සොයා දෙන බැවිනි.2013 දී හදුන්වාදුන් හමින්බර්ඩ්(Hummingbird) ඇල්ගොරිදමය නිසා ගූගල් වල වේගය සැලකිය යුතු තරමකින් ඉහල ගොස් ඇති බව විද්වතුන්ගේ මතයයි.

කරුනු එසේ වුවද ගූගල් සෙවුම් යන්ත්‍රයට ඇත්තේ දැනට අන්තර්ජාලයේ ඇති තොරතුරු සොයාදීමේ හැකියාව පමණි.නව දැනුම,තොරතුරු නිර්මාණය කිරීමට ගූගල්හට හැකියාව නොමැත.ඒ අතින් බැලූවිට මිනිස් මොළය තවමත් ඉදිරියෙන් ඇත්තේ මිනිස් මොළයට තොරතුරු අලුතින් නිර්මාණය කල හැකි බැවිනි.එය මිනිස් මොළයට ලැබී ඇති සුවිශේෂී හැකියාවකි.

ගූගලීකරණය 2003 දී John Battelle සහ Alex Salkever විසින් හදුන්වා දෙන ලද සංකල්පයකි.ගූගල් නිර්මාණය වූ මුල් කාලවලදී එම සේවාවට හැකිවූයේ අක්ශර මූලික කොටගත් තොරතුරු සෙවීමට පමණකි.නමුත් වර්තමානයේ එය රූප,වීඩියෝ,ඩිජිටල් පොත්,ප්‍රවෘත්ති යනාදී වශයෙන් සොයා දීමට හැකිවන ලෙස සකසා ඇත.එමෙන්ම එහි සේවාවන්ද පුලුල් කොට අති බව අප කාටත් දැකගත හැකිව ඇත.

Desktop,Laptop,Notebook,Tablet,Smart Phone හරහාද දැන් මෙම සේවාව අත්විදිය හැකිවීම එක් අතකින් පහසුවක් ලෙස පෙනුනද තොරතුරු මතකතබා ගැනීමට එය ඍජු බාධාවක් ලෙස දැක්විය හැක්කේ ඒ සදහා මොළය වෙහෙසවීම අවශ්‍ය නොවන හෙයිනි.තමන්ට යමක් දැනගැනීමට අවශ්‍යනම් ගූගල් ඒ සදහා සැදී පැහැදී සිටීම අපට මහා අස්වැසිල්ලක් සේ දැනුනද බුද්ධිමත්ව සිතා බැලුවහොත් ගූගල් අපේ මොළයේ මතක තබා ගැනීමේ හැකියාව,විශ්ලේෂණ හා ආවර්ජන හැකියාව මොට කරන තවත් එක් තාක්ශණික ප්‍රයෝගයක් නොවන්නේද?

සටහන:- තිස්ස නවරත්න විසිනි

No comments: