Friday, June 10, 2016

ඩිජිටල් ක්‍රීඩා මිනිසුන්ට සහ සමාජයට හිතකරද?


ක්‍රීඩා කිරීම සැබැවින්ම ශාරීරික මෙන්ම මානසික සෞඛයට හිතකරය.ක්‍රීඩාව තුලින් ගත සිත සුවපත්වනවා සේම යහපත් නිරෝගී පුද්ගලයින් හා සමාජ සබධතා ඉන් ගොඩනැගෙන බව අප කවුරුත් අවිවාදයෙන් පිලිගන්නා කරුණකි.

එය එසේ වුවද ඩිජිටල් ක්‍රීඩා නිසා අද විවිධාකාර වූ ගැටලු රාශියක් ගොඩනැගී ඇත.වර්තමානයේ ඩිජිටල් ක්‍රීඩා වලට ඇබ්බැහිවීම් (Addiction) ඉහල යාම සමාජමය ගැටලුවක් බවට ඔඩුදුවා ඇත්තේ එය වැළැක්වීමට හෝ පාලනය කිරීමට ප්‍රමාණවත් උත්සාහයක් ගැනීමට තරම් සමාජය එහි අහිතකර තත්වයන් පිළිබදව නිසි දැණුමක් නොමතිකම නිසාය.

අධ්‍යාපනය ලබන සිසුන්ගේ අධ්‍යන කටයුතු අඩපණ වන මට්ටමට අද ලෝකයේ ඩිජිටල් ක්‍රීඩා පිළිලයක් බවට පත්ව ඇත.වැඩිහිටියන්ට පවා අද ඩිජිටල් ක්‍රීඩා ව්‍යසනය වැළැක්වීමට අපහසු වී ඇත්තේ ඔවුන්ගෙන්ද සමහරක් එයටම යොමුවී ඇති හෙයිනි.එය හරියට "කකුළුවා ඇදේට යමින් පැටවුන්ට කෙළින් යන්න" ‍යැයි කියන්නාක් මෙනි.

American Psychological Association (APL) පවසන පරිදි Game Based Learning (GBL) ක්‍රමවේදයට අනුව නිර්මාණය කොට ඇති ඩිජිටල් ක්‍රීඩා ක්‍රීඩා කිරීම තුලින් මානව හැකියාවන් මෙන්ම පරිගණක ක්‍රියාදාමයන් ඉගෙන ගත හැක.නමුත් බහුතරයක් ක්‍රීඩාවල මූලික අරමුණ GBL නොවන බවනම් ගැටළුවකි.

Halo,Call of Duty, Anderson & Dill 2000,Lynch & Walsh2004,Gentile වැනි Shooter ඩිජිටල් ක්‍රීඩා වල නිරත ක්‍රීඩකයන්ගේ ආක්‍රමණශීලී, නොරිස්සුම් හැසිරීම් රටා වැඩි බවද එම හැසිරීම් සාමාන්‍ය ජීවනරටා වලදීද නරක ලෙසට බලපාන බවද විද්වතුන් විසින් පෙන්වා දී ඇත.මෙය "Seattle Children's Research Institute" මගින්ද තහවුරුකොට ඇත.

"Massachusetts Institute of Technology" හි විද්වතුන් පෙන්වාදෙන පරිදි යෞවනයින් විසින් කරණු ලබන අපරාධ (Juvenile Crimes) සදහා බිහිසුනු ඩිජිටල් ක්‍රීඩා වන Death Race,Mortal Kombat, Doom, Grand Theftsuto වල යම් මට්ටමක දායකත්වයක් පෙන්නුම් කරන බව සොයාගෙන තිබේ.

ඩිජිටල් ක්‍රීඩාවල තවත් අහිතකර තත්වයක් වන්නේ නිතරම මෙම ක්‍රීඩා ක්‍රීඩාකරන පුද්ගලයින් සමාජයෙන් කොන්වන බවයි.එයට හේතුව ඔවුන්ට සමාජ සබදතා (Social Relationships) ගොඩනගා ගැනීමට කාලයක් නොමැති වීමයි.තම විවේක කාලය සමාජ සබදතා ගොඩනගා ගැනීමට නොව ඩිජිටල් ක්‍රීඩා වල යෙදීමට ගතකිරීම ඊට හේතුවයි.

සමාජමය ගැටළු පමණක්ම නොව සෞඛයමය ගැටළු රාශියක් ඇතිවීමට ඩිජිටල් ක්‍රීඩා වල නිතර යෙදෙන පුද්ගලයින් මුහුණපාන බරපතල ගැටළුවකි.අධික තරබාරුකම,අධි රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල්, දියවැඩියාව,අක්ෂි ආබාධ,මැණික් කටුව ආශ්‍රිත ස්නායු ආබාධ,කොන්දේ ආබාධ,මාංශපේශීවල ආබාධ මෙන්ම වැරදි ඉරියව්වෙන් බොහෝ වේලා සිටීම නිසා පිටකොන්දේ දරුණු ආබාධවලට පවා ලක්වීමේ ප්‍රවණතාවයක් ඇති බවද සෞඛය සංවිධාන පෙන්වා දී ඇත.

නිතර ඩිජිටල් ක්‍රීඩා කරන සිසුන්ගේ අධ්‍යන කටයුතු වලට දුර්වල බවද ගැටළුවක් වී ඇත.2012 දී "Psychology of Popular Media Culture" පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශකරන්නේද ඩිජිටල් ක්‍රීඩා වල නිරත පුද්ගලයින්ගේ අවධානය (Attention) හා යමක් අවබෝධකරගැනීමේ හැකියාවටද නරක ලෙස බලපාන බවයි.සමස්ථයක් ලෙස කරුණු විමර්ශණය කරන කොයිකාට වුවද පෙනීයන පැහැදිලි කරුණ නම් කවුරු කෙසේ කීවද ඩිජිටල් ක්‍රීඩා වල නිතර නිරතවීම ගැටළු රාශියකට හේතුපාදක වන බවත් තමා ඩිජිටල් ක්‍රීඩාවලට ඇබ්බැහිවී ඇති බව තමාටම අවබෝධ කර ගැනීමට අපහසු වන බවත්ය.සැබැවින්ම එහි බැරෑරුම්කමද එයම නොවේද?