Wednesday, May 25, 2016

තොරතුරු තාක්ශණය පරිසර හිතකාමී කිරීම


පරිසරය මිනිසාට නොනැසී පැවතීමට කෙතරම් දායක වන්නේද යන්න පැවසීමට අටුවා අටීකා අවැසි නැත.මැක්සිම් ගෝර්කි පවසන පරිදි "මවගේ කිරි වලින් හා හිරුගේ කිරණින් මෙලොව නිර්මාණය වී ඇත" යන ප්‍රකාශය ඊට කදිම නිදසුනකි.

තොරතුරු තාක්ශණයේ වේගවත් දියුණුව සමග පරිසරයේ තිරසාර පැවත්මට දැන් කණකොකා හඩා ඇත.ඒ මන්ද යත් පාරිසරික උෂ්ණත්වය ඉහලයාම,ස්වාභාවික විපත් තීව්‍රර වීම,ස්වාභාවික චක්‍ර විකෘති වීම වැනි අහිතකර විපත් වලට හුදු මහත් ලෝ වැසියන්ට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවීමයි.මේ සදහා විවිධ හේතු බලපෑවද තාක්ශණය අහිතකර ලෙස භාවිතා කිරීම සෘජුවම බලපා ඇති බව පිළිගත යුතු සත්‍යයකි.එංගලන්තය පාදක කොටගත් ග්ලෝබල් ඇක්ශන් ප්ලෑන්(Global Action Plan)නැමති ආයතනය පවසන පරිදි තොරතුරු තාක්ශණය 2% පමණ බලශක්තියක් භාවිතා කරන බව පෙන්වා දී ඇත.

පරිසර හිතකාමී තොරතුරු තාක්ශණය (Green IT) නමින් කරළියට ඒමත් සමගම දැන් දැන් ලොව ප්‍රකට තොරතුරු හා සන්නිවේදන සමාගම් 15 ක් තම නිපැයුම් පරිසර හිතකාමී වන ලෙස නිර්මාණයට උනන්දු වී සිටීම සැබැවින්ම සතුටුදායකය.HP,Blackberry,Apple වැනි සමාගම් තම නිපැයුම් සදහා පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වැඩි වශයෙන් යොදාගැනීමටත් ඒ හරහා පරිසරයට නිකුත්වන තාපය,බැරලෝහ,විකිරණශීලී ද්‍රව්‍ය අවම කිරීමටත් ප්‍රමාණවත් තරම් උත්සාහයක් ගන්නා බවද නව පර්යේෂණ නිරන්තරයෙන් සිදුකරන බවටද සාක්ෂි ඕනෑ තරම් පෙන්වා දිය හැක.නමුත් එමකාර්යය 100% සාර්ථක වීමට නම් තව බොහෝ වෙහෙසිය යුතුව ඇත.

ක්ලවුඩ් පරිගණක තාක්ශණය (Cloud Computing) හරහා ශක්තිය ඉතිරිකිරීම,වීඩියෝ කොන්ෆරනස් (Video conference) වැනි ක්‍රියාදාමයන් සීමා කිරීම,යල් පැනගිය පරිගණක භාවිතයෙන් ඉවත්කිරීම,ශක්තිය පිරිමසන ලැප්ටොප් පරිගණක භාවිතය වැඩි කිරීම CRT වැනි යල්පැනගිය පරිගණක තිර ඉවත්කොට ඒ සදහා නවීන LCD,LED තිර හදුන්වාදීම හා විද්‍යුත් උපකරණ වල ආයු කාලය වැඩි කිරීම,පහසුවෙන් ප්‍රතිචක්‍රීය කලහැකි ලෙස විද්‍යුත් උපකරණ නිපදවීම වැනි උපක්‍රම මේ වන විටද කරළියට පැමිණ හමාරය.

Irish ආයතනයක් වන Micro Pro විසින් "iameco" නමින් දැවයෙන් නිමකරන ලද ආවරණයක් සහිත පරිගණකයක් නිපදවා තිබේ.මෙය සාම්ප්‍රදායික පරිගණක වලට වඩා70% කටත් අඩු බලයකින් ක්‍රියාත්මක වන අතර 98% පමණ එම පරිගණක ප්‍රතිචක්‍රීයකරණය කල හැකි බව නිෂ්පාදකයින් පෙන්වා දී ඇත.ලෝ ප්‍රකට Apple සමාගම Apple Mac Book පරිගණකය නිපදවීමෙන් ඔවුන්ද පරිසර හිතකාමී තාක්ශණයකට ලැදි බව පෙන්වා දී ඇත.

පරිසර හිතකාමී තොරතුරු තාක්ශණය එලෙසම භාවිතා කිරීම,විනාශ කිරීම,නිර්මාණය හා නිපදවීම යන ක්‍රියාවලීන් හරහා ලගාකර ගතහැකි බව විද්වතුන් විසින් පෙන්වා දී ඇත.ඒ අනුව යමින් පරිසර හිතකාමී ලෙස තොරතුරු තාක්ශණය දියුණුකිරීම සැබැවින්ම මිනිසාගේ ස්ථිරසාර පැවැත්ම තහවුරු කරන හුදු පරාර්ථකාමී ක්‍රියාවලියක්ම නොවන්නේද?

Monday, May 23, 2016

සෙල්ෆි ගැනීම රෝගයක්ද?


නෙත පින්නවන දසුනක් දුටුවිට එය කැමරාගත කර ගැනීම අප පුරුදු වී සිටින්නෙමු.නිතර කැමරාවක් අත නොමතිවීම රූප රාමු ගැනීමට අද බාධාවක් නොවන්නේ ස්මාර්ට් ජන්ගම දුරකතනයෙන් එම කාරිය මනාව ඉටුකොට ගත හැකි බැවිනි.තම දෛනික කටයුතුවලදී පවා රූප ගැනීම අද විලාසිතාවක් බවට පත්ව ඇත.

සීමාව ඉක්මවා සෙල්ෆි ගැනීම මානසික සමබරතාවයට ගැටලුවක් ඇතිකරන බව විද්වතුන් සිදුකල පරීක්ෂණ වල ප්‍රතිඵල දෙස බැලූවිට දැන් පෙනීගොස් ඇත.සෙල්ෆි ගැනීම සමහර පුද්ගලයන්ගේ හුදු විනෝදාංශයක් බවට අද පත්ව අත්තාක් සේම එය විලාසිතාවක් බවටද පත්ව ඇත.කරුනු කෙසේ වුවද තම ජීවිත අනතුරු ගැනද නොසලකා සෙල්ෆි ගැනීම අද උන්මාදයක් බවට පත්ව ඇත.සමාජීය ගැටලු රැසකටද අත වැනීමට මෙම සෙල්ෆි කලාව දායක වී ඇත.

සෙල්ෆි නිසාම වැළදෙන "සෙල්ෆයිටිස්" ලෙසින් හැදින්වෙන මානසික රෝගයක් ගැන APA(American Psychsrtic Association) නොබෝදා අනාවරණය කරගෙන ඇත.සෙල්ෆි කලාව හිණිපෙත්තේම වැජඹුනු අවධියේ APA මගින් මෙය මානසික රෝගයක් බවට පත්විය හැකි බැව් අනතුරු හැගවුවද එය ගණනකට නොගැනීම නිසා සෙල්ෆයිටිස් නම් වූ මානසික රෝගය දක්වා එය ඔඩුදිවීමට හේතුපාදක වී ඇත.

මෙය කොතරම් දරුණු තත්වයකට පත්වී ඇතිද යන්න පවසනවානම් සෑම පුද්ගලයින් 12 දෙනෙකුටම 1 අයෙක් සෙල්ෆයිටිස් රෝගයෙන් පෙළෙනබව සොයාගෙන ඇත.මෙහි අවධි 3 ක් ඇති බවද පළමු හා දෙවන අවධියේ පසුවන්නන් සුව කිරීමට පහසු වුවත් තෙවන අවධිය ගැන විශ්වාස තැබිය නොහැකි බව APA හි විද්වතුන්ගේ මතයයි.

අසාමාන්‍ය ලෙස නොනවත්වා සෙල්ෆි ගැනීමට යම් කිසි කෙනෙකු නිරන්තරයෙන් යොමුවේනම් සහ එම සෙල්ෆි සමාජ ජාල ගත කරනවානම් එවන් අය ගැන විශ්ෂ සැලකිල්ලක් දක්වන ලෙස APA අනතුරු හගවයි.තාක්ශණය දියුණු මෙවන් ලෝකයක විවිධ විකාරරූපී ක්‍රියාවලීන් ඉදිරියටත් වැඩි වැඩියෙන් සිදුවිය හැකි සේම මිනිසුන්ගේ මානසික සමබරතාවය රැකගැනීමට නම් සිහිකල්පනාවෙන් එම තාක්ශණය බුක්තිවිදිය යුතු බවද කිවමනාය.නැතහොත් මෙලොව සෑම පුද්ගලයෙක්ම තාක්ශණය සීමාව ඉක්මවා භාවිතාකිරීම නිසා විවිධ රෝගපීඩා වලට පත්වීම වැළැක්විය නොහැකි බව දැන් පසක් වී හමාරය.

සටහන:- තිස්ස නවරත්න විසිනි

Tuesday, May 17, 2016

ගූගලීකරණය වූ නූතන මිනිසා

 

මිනිසා යනු හොද මතක ශක්තියක් ඇති බුද්ධිමත්ම සත්ව කොට්ඨාශයකි.අනෙකුත් ජීවීන්ට වඩා බොහෝ සෙයින් කරුණු මතක තබා ගැනීමට මිනිසාට හැකියාවක් ඇත.එපමණක්ද නොව කරුණු විශ්ලේෂණය කිරීම,වඩාත් සුදුසු කරුණු තෝරා බේරා වෙන්කර ගැනීමටද මිනිසාට මනා හැකියාවක් ඇත.විද්වතුන් පවසන පරිදි මිනිසාගේ මොළයේ මතක ධාරිතාව 3TB තරම් වේ.

තාක්ශණයේ විප්ලවීය වෙනස්කම් රාශියක් මේ වන විටත් සිදු වී හමාරය.පරිගණක තාක්ශණය ඒ අතරින් ඉදිරියෙන්ම සිටී.කාලයාගේ ඇවෑමෙන් මිනිසා අද තම ජීවිතයේ බොහෝ කටයුතු පරිගණකය ලවා ඉටුකර ගැනීමට හුරු වී සිටී.මේ අතරින් කරුණු සෙවීමට හා මතක තබාගැනීමට මැළිකමක් දක්වන බව නොරහසකි.මොළය වෙහෙසවමින් කරුණු කාරණා පරිගණකය ලවා ඉටුකර ගැනීමට වැඩි වැඩියෙන් පෙලඹී ඇත.

මේ හේතුව නිසා අද ඉතා කුඩා ගණනය කිරීමකට වුවද ගණක යන්ත්‍ර භාවිතයට හුරුවී සිටී.මේ නිසා මනෝමය හැකියාව සෑහෙන දුරකට මොට වී ඇති බව පිළිගත යුතු සත්‍යයකි.කරුණු සෙවීමට පොත පත පරිශීලනය කරනවාට වඩා ගූගල් වල පිහිට පැතීම සැබැවින්ම පහසුවකි.ගූගල් නිරන්තරයෙන් එම කාර්‍ය‍ය සදහා සැදී පැහැදී සිටී.මේ නිසාම ගූගල් වැනි සෙවුම් යන්ත්‍ර අද මිනිසාගේ පරම මිතුරෙකු වී හමාරය.

දිනපතා බිලියන ගණනක් මිනිසුන් ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා ඉතා විශාල ලෙස තොරතුරු සෙවීමට පෙලඹී ඇත්තේ එය Yahoo,Lycos,Bing,Altavista වැනි අනෙකුත් සෙවුම් යන්ත්‍ර වලට වඩා වේගයෙන් එකවර බිලියන 6 ක පමණ තොරතුරු සොයා දෙන බැවිනි.2013 දී හදුන්වාදුන් හමින්බර්ඩ්(Hummingbird) ඇල්ගොරිදමය නිසා ගූගල් වල වේගය සැලකිය යුතු තරමකින් ඉහල ගොස් ඇති බව විද්වතුන්ගේ මතයයි.

කරුනු එසේ වුවද ගූගල් සෙවුම් යන්ත්‍රයට ඇත්තේ දැනට අන්තර්ජාලයේ ඇති තොරතුරු සොයාදීමේ හැකියාව පමණි.නව දැනුම,තොරතුරු නිර්මාණය කිරීමට ගූගල්හට හැකියාව නොමැත.ඒ අතින් බැලූවිට මිනිස් මොළය තවමත් ඉදිරියෙන් ඇත්තේ මිනිස් මොළයට තොරතුරු අලුතින් නිර්මාණය කල හැකි බැවිනි.එය මිනිස් මොළයට ලැබී ඇති සුවිශේෂී හැකියාවකි.

ගූගලීකරණය 2003 දී John Battelle සහ Alex Salkever විසින් හදුන්වා දෙන ලද සංකල්පයකි.ගූගල් නිර්මාණය වූ මුල් කාලවලදී එම සේවාවට හැකිවූයේ අක්ශර මූලික කොටගත් තොරතුරු සෙවීමට පමණකි.නමුත් වර්තමානයේ එය රූප,වීඩියෝ,ඩිජිටල් පොත්,ප්‍රවෘත්ති යනාදී වශයෙන් සොයා දීමට හැකිවන ලෙස සකසා ඇත.එමෙන්ම එහි සේවාවන්ද පුලුල් කොට අති බව අප කාටත් දැකගත හැකිව ඇත.

Desktop,Laptop,Notebook,Tablet,Smart Phone හරහාද දැන් මෙම සේවාව අත්විදිය හැකිවීම එක් අතකින් පහසුවක් ලෙස පෙනුනද තොරතුරු මතකතබා ගැනීමට එය ඍජු බාධාවක් ලෙස දැක්විය හැක්කේ ඒ සදහා මොළය වෙහෙසවීම අවශ්‍ය නොවන හෙයිනි.තමන්ට යමක් දැනගැනීමට අවශ්‍යනම් ගූගල් ඒ සදහා සැදී පැහැදී සිටීම අපට මහා අස්වැසිල්ලක් සේ දැනුනද බුද්ධිමත්ව සිතා බැලුවහොත් ගූගල් අපේ මොළයේ මතක තබා ගැනීමේ හැකියාව,විශ්ලේෂණ හා ආවර්ජන හැකියාව මොට කරන තවත් එක් තාක්ශණික ප්‍රයෝගයක් නොවන්නේද?

සටහන:- තිස්ස නවරත්න විසිනි

Thursday, May 12, 2016

පරිගණක ක්‍රීඩා තුලින් ඉගෙනීම




පරිගණක ක්‍රීඩා කියූ සැනින් අප කාට වුවත් මතකයට නැගෙන පරිගණක ක්‍රීඩාවක් නොමැති තරමට අද එය ප්‍රචලිත වී ඇත.වයස් බේදයකින් තොරව කාගේත් සිත් ඇදගන්නා පරිගණක ක්‍රීඩා අද ලෝකයේ එමට ඇත.මතකය,ආවර්ජනය,ගොනුකිරීම,වේගවත් තීරණ ගැනීම,ක්‍රියාශීලී බව,විමසිලිමත්කම යනාදී වූ හැකියාවන් දියුණු කර ගැනීමට පරිගණක ක්‍රීඩා අප නොදැනුවත්වම වුවද ඉවහල් වූ බව තර්කයකින් තොරව පිලිගැනීමට තරම් ප්‍රමාණවත් සාධක මේ වන විටත් විද්වතුන් විසින් ඉදිරිපත්කොට ඇත.

ඉහල තාක්ශණික ශිල්ප ක්‍රම හරහා නිර්මාණය කොට ඇති දියුණු පරිගණක ක්‍රීඩා පිලිබදව අප අසා ඇත්තෙමු.විද්වතුන් ලොව පුරා කරන ලද පරීක්ශණ වලට අනුව පරිගණක ක්‍රීඩා පිලිබදව අප දැරූ සාම්ප්‍රදායික ආකල්ප වෙනස් කරගැනීමට දැන් කාලය එලඹ ඇත.ඊට හේතු පාදක වී ඇත්තේ අද පවතින විවිධාකාර පරිගණක ක්‍රීඩා ක්‍රීඩා කිරීම තුලින් බොහෝ දේ ඉගෙනගැනීමට හැකිබව මෙන්ම සමහර පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ අරමුණද වී ඇත්තේ ඒ හරහා විෂය කරුණු ඉගැන්වීමය.

ඉගෙනීමේ නව ක්‍රමවේදයක් ලෙස අද GBL (Game Based Learnning) පිළිගෙන ඇත.මෙහි අර්ථය නම්,විවිධාකාර ක්‍රමශිල්ප භාවිතා කොට නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩා ඒකරාශී කොට එම ක්‍රීඩා වල ඇති විවිධාකාර  ක්‍රමවේද (Machanics) ක්‍රීඩා කිරීම තුලින් අධ්‍යනය කොට තම හැකියාවන්(Skills) හා දැනුම (Knowledge) ඒ හරහා ලබා ගැනීමයි.විද්වතුන් පවසන පරිදි කුඩා ළමුන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා යම් යම් පරිගණක ක්‍රීඩා වල යෙදීම තුලින් රාජකාරි මෙන්ම එදිනෙදා වැද කටයුතු වලදී පවා අලුත් යමක් ශණිකව ඉගෙනීමේ හා ඵලදායිතාවය (Productivity) ඉහල තලයකට ගෙන ආ හැකි බවයි.

GBL ක්‍රමවේදය Play station,Tablets,Video Games වලට පමණක්ම සීමාකල නොහැකිය.ඒ මන්ද යත් ක්‍රීඩා කිරීමේදී පුද්ගලයින්ගේ  භෞතික තත්වයන් (Physical Form) හරහාද යමක් ඉගෙනීමට හැකි බව විද්වතුන්ගේ මතය වන බැවිනි.බොහෝ පරිගණක ක්‍රීඩා හරහා විනය,හොද ගතිගුණ,ඉලක්කයකට වැඩ කිරීම,සමාජශීලී වීම,තම ජීවන අත්දැකීම් අත්හදා බැලීම යනාදී හැකියාවන් මේ හරහා වැඩිදියුණු වන බව සොයාගෙන ඇත.

GBL Serious Games ලෙසද අර්ථ දැක්විය හැක.එනම් සමහර පරිගණක ක්‍රීඩා නිර්මාණය කොට ඇත්තේද ඉගෙනීමට සහ එම ක්‍රීඩා හරහා ලැබෙන නිපුණත්වය තම පෞද්ගලික ජීවිතයේ එදිනෙදා ක්‍රියාකාරකම් වල යහපත් වෙනසක් ඇතිකරගැනීමට හැකිවන ලෙසයි.මෙම ක්‍රීඩාවල ත්‍රිමාන රූප හරහා එම ක්‍රීඩකයාට සජීවී ලෝකය මනාව අධ්‍යනය කොට තේරුම් ගැනීමට හැකිවන ලෙස සකසා තිබීමද විශේෂත්වයකි.

GBL ක්‍රියාවලිය හා සසැදෙන Gamification නම් වූ ක්‍රියාවලිය තුල පරිගණක ක්‍රීඩා හරහා සිතීමේ හැකියාව හා ක්‍රීඩාවේ ක්‍රියාදාමයන් (Machanics) ගැටලු සාර්ථක ලෙස විසදීමටද මංපෙත් විවරකර දෙන ක්‍රියාවලියකි.Portal2 වැනි පරිගණක ක්‍රීඩා හරහා ක්‍රීඩකයාට ගැඹුරු ලෙස සිතීමේ හැකියාව,නිර්මාණශීලී හැකියාව ප්‍රගුණ කරවයි.මෙම හැකියාවන් ප්‍රගුණ වීම නිසා ශිෂ්‍යාට සාම්ප්‍රදායික ක්‍රමවේද වලින් බැහැරව සිතීමේ හා නිර්මාණය කිරීමේ හැකියාව ඇති වේ.ගුරුවරුන්ටද පරිගණක ක්‍රීඩාවල ඇති සිත් ඇදගන්නාසුලු අතුරු මුහුණත්,චලනයන්,වර්ණවත් රූපරාමු භාවිතා කොට විෂය කරුණු නව මුහුණුවරකින් ශිෂ්‍යාට ඉගැන්විය හැකිය.

කරුණු කෙසේ වුවද ගුරුවරයා මෙහිදී වඩා උපක්‍රමශීලී වීමට වගබලා ගත යුතු වන්නේ ශිෂ්‍යාට පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වීමට වැඩි ඉඩකඩක් ඇති බැවිනි.

සටහන:- තිස්ස නවරත්න විසිනි.

Monday, May 9, 2016

තොරතුරු තාක්ෂණයේ ප්‍රගමණය හා මිනිසාගේ අනාගතය



තාක්ෂණයේ වේගවත් දියුණුව හා පරිණාමය අනාගත ලෝකය අසුරුසැනින් වෙනස් කිරීමට යහමින් දායක වෙමින් ඇතිබව අප කාටත් පුදුමයක් නොවේ.මානව ශිෂ්ඨාචාරයේ දියුණුව,අතිනවීන තාක්ෂණික මෙවලම්,ජෛව තාක්ෂණික නිපැයුම් වැනි නවීන සොයාගැනීම් සීඝ්‍ර ලෙස ඉහලයාම අප කවුරුත් නොසිතනා ලෙස ඉතාවේගයෙන් සිදුවෙමින් පවතී.

ඉදිරි දශක කිහිපය තුල නිර්මාණය වන පරිගණක වල මිනිස් මොළයේ ආගනන හැකියාවට (Computational Speed) ළගාවිය හැකිවනු ඇති බවද විද්වතුන්ගේ මතයයි.එපමණක්ද නොව මෙම පරිගණක වලට මිනිසුන් හා කතා කිරීමට අමතරව සවන්දීමේ හා මතක තබාගැනීමේ හැකියාවද ලැබෙනු ඇත.මේ හරහා මිනිසුන් පශ්චාත් මානව අවදියකට ගමන් කරනු ඇති බව බොහෝ විද්වතුන්ගේ මතය වී ඇත.

නැනෝ තාක්ශණය(Nano Technology) ආශ්‍රිතව නිපදවන ඉතා කුඩා ප්‍රමාණයේ රොබෝ යන්ත්‍ර මිනිස් සිරුරට අතුලුකොට ඒ හරහා මිනිසාගේ හැකියාව වැඩිදියුණු කිරීමේ ඉඩකඩක් ඇතිබවද සිතිය හැක.මෙමගින් ලෙඩරෝග මැඩපැවත්වීම, ශුද්‍ර සැත්කම්(Microsurgery) හා මිනිසාගේ ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීම කලහැකි බව විද්වතුන් පෙන්වා දී ඇත.මෙමගින් සිදුවනුයේ මිනිසාගේ ශරීරයේ ඇති සීමාවන් හා අඩුලුහුඩුකම් මගහැරී ගොස් මිනිසා ජෛව යාන්ත්‍රික තත්වයට පත්වීමය.

මිනිස් මොළය පරමාණුවෙන් පරමාණුවට පිටපත් කොට එම තොරතුරු පරිගණකයට අතුලත් කිරීම(Upload) තුලින් අවසානයේ දිනයක මරණය පවා ජයගැනීමට මිනිසාට හැකිවනු අති බව නිගමනය කල හැකිය.ආලෝකයේ වේගයෙන් තොරතුරු රටාවන්(Information Pattern) ලෙස පරිගණක පද්ධති හරහා ගමන් කිරීමේ හැකියාව මිනිසාට උදාවනු ඇති අතර,මිනිස් සිරුර මුලුමනින්ම අතහැර දැමිමේ හැකියාව ලැබෙනු ඇත.දැනටමත් ලොව වටා ජීවත්වන විද්වතුන් මෙවනි පෙරළිකාර සොයාගැනීම් සදහා ක්‍රියා කරමින් සිටින බවද අප කාටත් නොරහසකි.

සටහන:- තිස්ස නවරත්න විසිනි.