Thursday, May 12, 2016

පරිගණක ක්‍රීඩා තුලින් ඉගෙනීම




පරිගණක ක්‍රීඩා කියූ සැනින් අප කාට වුවත් මතකයට නැගෙන පරිගණක ක්‍රීඩාවක් නොමැති තරමට අද එය ප්‍රචලිත වී ඇත.වයස් බේදයකින් තොරව කාගේත් සිත් ඇදගන්නා පරිගණක ක්‍රීඩා අද ලෝකයේ එමට ඇත.මතකය,ආවර්ජනය,ගොනුකිරීම,වේගවත් තීරණ ගැනීම,ක්‍රියාශීලී බව,විමසිලිමත්කම යනාදී වූ හැකියාවන් දියුණු කර ගැනීමට පරිගණක ක්‍රීඩා අප නොදැනුවත්වම වුවද ඉවහල් වූ බව තර්කයකින් තොරව පිලිගැනීමට තරම් ප්‍රමාණවත් සාධක මේ වන විටත් විද්වතුන් විසින් ඉදිරිපත්කොට ඇත.

ඉහල තාක්ශණික ශිල්ප ක්‍රම හරහා නිර්මාණය කොට ඇති දියුණු පරිගණක ක්‍රීඩා පිලිබදව අප අසා ඇත්තෙමු.විද්වතුන් ලොව පුරා කරන ලද පරීක්ශණ වලට අනුව පරිගණක ක්‍රීඩා පිලිබදව අප දැරූ සාම්ප්‍රදායික ආකල්ප වෙනස් කරගැනීමට දැන් කාලය එලඹ ඇත.ඊට හේතු පාදක වී ඇත්තේ අද පවතින විවිධාකාර පරිගණක ක්‍රීඩා ක්‍රීඩා කිරීම තුලින් බොහෝ දේ ඉගෙනගැනීමට හැකිබව මෙන්ම සමහර පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ අරමුණද වී ඇත්තේ ඒ හරහා විෂය කරුණු ඉගැන්වීමය.

ඉගෙනීමේ නව ක්‍රමවේදයක් ලෙස අද GBL (Game Based Learnning) පිළිගෙන ඇත.මෙහි අර්ථය නම්,විවිධාකාර ක්‍රමශිල්ප භාවිතා කොට නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩා ඒකරාශී කොට එම ක්‍රීඩා වල ඇති විවිධාකාර  ක්‍රමවේද (Machanics) ක්‍රීඩා කිරීම තුලින් අධ්‍යනය කොට තම හැකියාවන්(Skills) හා දැනුම (Knowledge) ඒ හරහා ලබා ගැනීමයි.විද්වතුන් පවසන පරිදි කුඩා ළමුන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා යම් යම් පරිගණක ක්‍රීඩා වල යෙදීම තුලින් රාජකාරි මෙන්ම එදිනෙදා වැද කටයුතු වලදී පවා අලුත් යමක් ශණිකව ඉගෙනීමේ හා ඵලදායිතාවය (Productivity) ඉහල තලයකට ගෙන ආ හැකි බවයි.

GBL ක්‍රමවේදය Play station,Tablets,Video Games වලට පමණක්ම සීමාකල නොහැකිය.ඒ මන්ද යත් ක්‍රීඩා කිරීමේදී පුද්ගලයින්ගේ  භෞතික තත්වයන් (Physical Form) හරහාද යමක් ඉගෙනීමට හැකි බව විද්වතුන්ගේ මතය වන බැවිනි.බොහෝ පරිගණක ක්‍රීඩා හරහා විනය,හොද ගතිගුණ,ඉලක්කයකට වැඩ කිරීම,සමාජශීලී වීම,තම ජීවන අත්දැකීම් අත්හදා බැලීම යනාදී හැකියාවන් මේ හරහා වැඩිදියුණු වන බව සොයාගෙන ඇත.

GBL Serious Games ලෙසද අර්ථ දැක්විය හැක.එනම් සමහර පරිගණක ක්‍රීඩා නිර්මාණය කොට ඇත්තේද ඉගෙනීමට සහ එම ක්‍රීඩා හරහා ලැබෙන නිපුණත්වය තම පෞද්ගලික ජීවිතයේ එදිනෙදා ක්‍රියාකාරකම් වල යහපත් වෙනසක් ඇතිකරගැනීමට හැකිවන ලෙසයි.මෙම ක්‍රීඩාවල ත්‍රිමාන රූප හරහා එම ක්‍රීඩකයාට සජීවී ලෝකය මනාව අධ්‍යනය කොට තේරුම් ගැනීමට හැකිවන ලෙස සකසා තිබීමද විශේෂත්වයකි.

GBL ක්‍රියාවලිය හා සසැදෙන Gamification නම් වූ ක්‍රියාවලිය තුල පරිගණක ක්‍රීඩා හරහා සිතීමේ හැකියාව හා ක්‍රීඩාවේ ක්‍රියාදාමයන් (Machanics) ගැටලු සාර්ථක ලෙස විසදීමටද මංපෙත් විවරකර දෙන ක්‍රියාවලියකි.Portal2 වැනි පරිගණක ක්‍රීඩා හරහා ක්‍රීඩකයාට ගැඹුරු ලෙස සිතීමේ හැකියාව,නිර්මාණශීලී හැකියාව ප්‍රගුණ කරවයි.මෙම හැකියාවන් ප්‍රගුණ වීම නිසා ශිෂ්‍යාට සාම්ප්‍රදායික ක්‍රමවේද වලින් බැහැරව සිතීමේ හා නිර්මාණය කිරීමේ හැකියාව ඇති වේ.ගුරුවරුන්ටද පරිගණක ක්‍රීඩාවල ඇති සිත් ඇදගන්නාසුලු අතුරු මුහුණත්,චලනයන්,වර්ණවත් රූපරාමු භාවිතා කොට විෂය කරුණු නව මුහුණුවරකින් ශිෂ්‍යාට ඉගැන්විය හැකිය.

කරුණු කෙසේ වුවද ගුරුවරයා මෙහිදී වඩා උපක්‍රමශීලී වීමට වගබලා ගත යුතු වන්නේ ශිෂ්‍යාට පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වීමට වැඩි ඉඩකඩක් ඇති බැවිනි.

සටහන:- තිස්ස නවරත්න විසිනි.

No comments: