Saturday, June 26, 2021

අංකිත සාක්ෂරතාව(Digital literacy)

 අංකිත සාක්ෂරතාව(Digital literacy)

පුද්ගල සාක්ෂරතාවය යනු(පොත්පත් විෂය පථයෙන් ගත් විට) මව් භාෂාවෙන් අහඹු ලෙස තෝරාගත් ඕනෑම පොතක් නව වචන සෝදිසි කරමින් කියවිය හැකි පුද්ගලයෙකුටය.පුද්ගල සාක්ෂරතාවය නවීන ලෝකයට ගැලපෙන පරිදි අප අර්ථ දක්වා ගත යුතු වන්නේ අප අද පසුකරමින් සිටින විද්‍යුත් යුගයේ ප්‍රධානතම,අතාවශ්‍යම මෙවලම පරිගණකය වීම නිසාය.21 වන සියවසේ අත්‍යාවශ්‍යම වන අංකිත සාක්ෂරතාවය යනු “පරිගණක හා තාක්ෂණය පිළිබඳව දැනුම හා ඒවා කාර්‍යක්ශමව භාවිතා කිරීමේ හැකියාවයි”.

පරිගණක සාක්ෂරතාවයේ නියම අර්ථ දැක්වීම කාණ්ඩයෙන් කාණ්ඩයට වෙනස්විය හැක.කෙසේ නමුත් සාමාන්‍ය භාවිතයේදී පරිගණක සාක්ෂරතාවයෙන් හගවනු ලබන්නේ ඉතා හොදින් අර්ථ දැක්වුණු පහසු කාර්‍යයන් කිහිපයක් සදහා ඉතා විශේෂ යෙදවුම්(Applications) වන වදන් සැකසුම්,වෙබ් අතරික්සු,විද්‍යුත් තැපැල් යන මෘදුකාංග භාවිතා කිරීමේ හැකියාවයි.නමුදු අංකිත සාක්ෂරතාවය මෙම යෙදුම් වලට සීමාවූ සංකල්පයක් පමණක් ලෙස අර්ථ දැක්වීමට නොහැකිය.

“Aviram &Eshet” ගේ සංකල්පයකට අනුව අංකිත සාක්ෂරතාවය සදහා අවශ්‍යතා 5ක සාක්ෂරතාවය තිබිය යුතු බව පෙන්වාදේ.

රූප-දුශ්‍යමාන සාක්ෂරතාවය (Photo- Visual Literacy)- රූප හා දැකීම් හරහා තොරතුරු ලබාගෙන තේරුම්ගැනීම හා නිගමන වලට එලඹීමේ සාක්ෂරතාවයයි.

ප්‍රතිනිර්මාණ සාක්ෂරතාවය (Reproduction Literacy)- අංකිත තාක්ෂණය භාවිතයෙන් යල්පැනගිය නිර්මාණ අලුත් නිර්මාණ සමග එකතුකොට නවතම නිර්මාණ කිරීමේ සාක්ෂරතාවයයි.

අංකිත අවකාශ සොයා යාම (Branching Literacy)- රේඛීය මාධ්‍ය වල පමණක් නොව අතුරු මාධ්‍ය ඔස්සේ දත්ත හා තොරතුරු සොයායෑමේ සාක්ෂරතාවයයි.

තොරතුරු සාක්ෂරතාවය (Information Literacy)- අංකිත මාධ්‍ය(Web)හා අංකිත නොවන මාධ්‍ය භාවිතාකොට තොරතුරු සෙවීම, ළඟාවීම, භාවිතය හරහා බරපතළ ලෙස ඇගයීම් කිරීමේ සාක්ෂරතාවයයි.

සමාජීය- භාවාත්ම සාක්ෂරතාවය (Socio-emotional Literacy)- අංකිත මාධ්‍ය තුල සමාජගතවීමෙන් හා ඒකරාශවීම තුලින් අනෙක් අයගේ හැගීම්, ආකල්ප, චිත්තාවේග අවබෝධ කරගැනීමේ සාක්ෂරතාවයයි.

සමාජීය වශයෙන් ගත්විට අංකිත සාක්ෂරතාවය යනු වෙබ්2.0,සමාජ ජාල යනාදිය නිවැරදිව පරිශීලනය දැක්විය හැක.ඒ මන්ද යත්,අන්තර්ජාලය තුල පවතින විවිධ සේවාවන්(සෙවුම් යන්ත්‍ර ,සමාජ ජාල,විද්‍යුත් තැපෑල ,චැට් අඩවි ,බ්ලොග් අඩවි ,සාකච්ඡා මණ්ඩ) අනාදී මිනිසුන් ගැවසෙන විවිධ අතත්‍ය අවකාශ තුල තමන්ට මෙන්ම අනෙකාටද ගැටලුවක්,කරදරයක් හෝ හිංසාවක් නොවන ලෙස හැසිරෙමින් තම අවශ්‍යතා අංකිත මාධ්‍ය තුල නිවැරදිව සිදුකරගැනීමයි.ඒ සදහා පුද්ගලයෙකු සතුව පවතින අංකිත සාක්ෂරතා මට්ටම අනුව එම පුද්ගලයා කොතරම් සාර්ථකව අනතුරු හදුනාගෙන ඒවායින් වැළකෙමින් සිටිනවාද යන්න වැදගත් කරුණකි.වෙබ් අඩවියකට අනන්‍යතාවය දැක්වීම,වෙබ් අඩවියක සත්‍ය,අසත්‍ය බව හඳුනාගැනීම,භාණ්ඩයක් හෝ සේවාවක් සදහා නිවැරදිව ගෙවීම් සිදුකිරීම යනාදිය පිළිබඳව ඇති නිවැරදි දැනුමද අංකිත සාක්ෂරතාවය මනින මිනුම් වේ.

සමාජීය වශයෙන් ගත්විට පර්යේෂකයන් විසින් පෙන්වාදී ඇත්තේ අංකිත සාක්ෂරතාවය වයස හා අධ්‍යාපනික මට්ටම් අනුව වෙනස්වන බවත් ස්ත්‍රී,පුරුෂ භාවය ඒ සදහා සාධනීය බලපෑමක් ඇති නොකරන බවත්ය.මෙහිදී බාල හා තරුණ ප්‍රජාවගේ අංකිත සාක්ෂරතාවය ඔවුන් අංකිත මාධ්‍ය තුල සිදුකරන ක්‍රියාවන් අනුව සැලකූ විට ඉහල මට්ටමක පවතී.අන්තර්ජාලය වෙත පිවිසීම,සෙවීම,බාගතකර ගැනීම,හුවමාරුකරගැනීම මෙන්ම සමාජ මාධ්‍යය තුළද ඔවුන් වැඩිමහලු ප්‍රජාවට වඩා කාර්‍යක්ශමව ක්‍රියා කරනු දක්නට ලැබේ.එපමණක් නොව අංකිත විද්‍යුත් උපකරණ(සුහුරු පරිගණක,සුහුරු දුරකථන) යනාදිය වඩා පහසුවෙන්,කාර්‍යක්ශමව හා නිවැරදිව හැසිරවීමේ හැකියාවක්ද දක්වයි.

අංකිත සාක්ෂරතාවය විවිධ අංශ තුලදී විවිධාකාරයෙන් බලපානු ලබයි.අධ්‍යාපන ක්ෂේත්‍රයේදී නම් අංකිත උපකරණ භාවිතයෙන් ඉගෙනීම ප්‍රධානකොට දැක්විය හැක.

අංකිත ලිවීම (Digital Writing) තුලදී “Word, Writer, Apple pages” වැනි වදන් සැකසීමේ මෘදුකාංග භාවිතයෙන් “What You See is What You Get” ආකාරයට අංකිත ලිවීම සිදුකිරීම “LaTex” ලෙස හඳුන්වයි. එලෙසම “Non Linear ක්‍රමයට සැකසූ අධිපාඨ(Hypertext) අංකිත ලියවිලි අන්තර්ජාලය හරහා සැමටම භාවිතා කල හැක.මෙයට කදිම උදාහරණක් ලෙස “විකිපීඩියා- Wiki”දැක්විය හැක.

ශ්‍රම බලකාය(Workforce)- 2014 දි “Workforce Innovation & Opportunity Act-WIOA” හි හැඳින්වීමට අනුව අංකිත සාක්ෂරතා හැකියාව ශ්‍රමබලකාය සකස්කිරීමේ ක්‍රියාවලියක් ලෙස අර්ථදක්වා තිබේ. රාජකාරී කටයුතු වලදී ශ්‍රමිකයන් සතු අංකිත සාක්ෂරතාවයේ මට්ටම ඉහල දැමීම සදහා ආයතන විශේෂ අවධානයක් යොමුකොට ඇත.

ව්‍යවසායකත්වයේදී (Enterprunaship)- අංකිත සාක්ෂරතාවය ව්‍යවසායකත්වයේදී අත්‍යාවශ්‍ය සහ ප්‍රභල සාධකයක් වේ. ව්‍යවසායකයින්ට නව වෙළදපොළ සොයා යෑම,භාණ්ඩ අලෙවිය,සේවකයින් පරිපාලනය,ආයතන පරිපාලනය,පාරිභෝගික ගණුදෙනු යනාදී කටයුතු සදහා අංකිත සාක්ෂරතාවය ඉතාවැදගත් වේ.

කෙසේ නමුදු අංකිත බෙදීම (Digital Divide)  ඇතිවීම සදහා හේතුසාධක වන ප්‍රබලම සාධකය ලෙස අංකිත සාක්ෂරතාවය දැක්විය හැක.අංකිත බෙදීම ලොව මිනිසුන් මූලිකව තාක්ෂණය භාවිතා කිරීමට ඇති හැකියාව ,ඒ පිළිබඳව ඇති දැනුම ,නාගරිකකරණය වූ නොවූ බව,දුප්පත් පොහොසත් බව,ආකල්ප යනාදී සාධක මත සිදුවන සිදුවීමකි.

අංකිත සාක්ෂරතාවය ඉහලදැමීම සදහා ඇමරිකාව වැනි දියුණු රටවල් දීර්ඝකාලීන සැලසුම් ගොඩනගාගෙන ඇත.ඒ මන්ද යත් අංකිත සාක්ෂරතාවය ක්ෂණිකව දියුණු කල නොහැකි සංකල්පයකි.දියුණු වෙමින් පවතින අටවල අනාගත අභිවෘද්ධියෙහි ලා ඉතාම වැදගත් සංකල්පයකි අංකිත සාක්ෂරතාවය.අංකිත සාක්ෂරතාවය ඇතිකිරීම සදහා පහත ක්‍රියාවලි සිදුකිරීම යුගයේ අවශ්‍යතාවයකි.

පාසල් විෂයමාලාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයක් ලෙස ඇතුලත් කිරීම හා එම විෂය ප්‍රගුණ කිරීම සදහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් ලබාදීම.

දුෂ්කර පළාත්වලට පරිගණක හා අන්තර්ජාල පහසුකම් අඩුමුදලට හෝ නොමිලේ ලබාදීම. මේ සදහා අතරමැදියන් සහභාගි කරගැනීම.

නොමිලේ හෝ අඩු මුදලට පරිගණක අධ්‍යාපනය ලබාදීම.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, අන්තර්ජාලය වැනි තාක්ෂණන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සදහා විවිධ වැඩසටහන් හා ක්‍රියාකාර්කම්, තරග ආදිය පිළියල කිරීම. උදාහරණ ලෙස සම්මන්ත්‍ර,වැඩමුළු,පාසල් පාදක කරගෙන මෘදුකාංග නිර්මාණ වැනි තරග පැවැත්වීම.

මෙවැනි ක්‍රියාදාමයන් හර්හා අංකිත දියුණු කලහැක.මේ සදහා වඩා ප්‍රායෝගික ,විද්‍යාත්මක, දීර්ඝකාලීන,ක්‍රමවත් සහ තිරසාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යුගයේ කාලීන අවශ්‍යතාවයකි.

No comments: