Thursday, June 17, 2021

විද්‍යුතමය කෘෂිකර්මය(E- Agriculture)

විද්‍යුතමය කෘෂිකර්මය(E- Agriculture)


කෘෂිකර්මාන්තය යනු ශ්‍රීලංකාව වැනි දියුණුවෙමින් පවතින බොහෝ රටවල මිනිසුන්ගේ ප්‍රධානතම ජීවන උපායයි.නවීන ලෝකයේ පවතින දැඩි තරගකාරීත්වය කෘෂිකර්මාන්තයටද විශාල බලපෑමක් ඇතිකර ඇත.එම තරගකාරීත්වය නිසාම සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම භාවිතාකිරීම හරහා ඉල්ලුමට සරිලන,ගුණාත්මක අස්වැන්නක් අවශ්‍ය අවස්ථාවල,ඉක්මනින් ලබාදීම පිළිබඳව ගැටලුවක් ඇත.මෙයට විසඳුම තාක්ෂණික ක්‍රම කෘෂිකර්මාන්තය සදහා ගැලපෙන පරිදි යොදාගැනීමයි.

මේ සදහා විද්‍යුතමය කෘෂිකර්මය කදිම පිළිතුරකි.එසේනම් විද්‍යුතමය කෘෂිකර්මය යනු කුමක්ද?විද්‍යුතමය කෘෂිකර්මය(E- Agriculture) යනු,”තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කෘෂිකර්මාන්තය සදහා යොදාගැනීමයි”.මේ හරහා කෘෂිකර්මාන්තය වඩා ඵලදායී ලෙස,නියමිත තාක්ෂණයට අනුව සිදුකරගැනීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මෙන්ම ඒ හා බැදනු අන්තර්ජාලය,සාර්ව ද්‍රව්‍යාඅන්තර්ජාලය,(Internet of Things-IOT) වැනි තාක්ෂණයන් මෙන්ම පරිගණක,ජංගම දුරකථන,සංවේදක,රොබෝ තාක්ෂණය මෙන්ම වෙනත් තාක්ෂණික උපකරණ යනාදිය භාවිතා කිරීමයි.

විද්‍යුතමය කෘෂිකර්මය හේතුවෙන් වඩා වැඩි අස්වැන්නක් ඉතා ඉහල ගුණාත්මක තත්වයකින් යුක්තව ලබාගත හැක.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විවිධ අවස්ථා වලදී(වගා භූමිය සැකසීම,පැල රෝපණය,වල්පැල නෙලීම,පොහොර හා ජලය යෙදීම,වල්නාශක යෙදීම, බෝග වර්ධක අවස්ථා නිරීක්ෂණය,පලිබෝධ පාලනය,නව පලිබෝධකයින් හඳුනා ගැනීම,අස්වනු නෙලීම,සැකසීම,පසු අස්වනු තාක්ෂණය) සදහා මෙන්ම සත්ව පාලනයේදී,සතුන්ගේ සංචරණ රටා,සෞඛ්‍ය තත්වය වැනි කාරණා නිරීක්ෂණයට මෙන්ම ගොවිපළ කළමනාකරණයට(Farm Management) යනාදියට මෙන්ම ධීවර කර්මාන්තයටද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කරයි.

කෘෂිකර්මාන්තය සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් සදහා උදාහරණ කිහිපයක් පහත දැක්විය හැක.

කාලගුණික මිනුම් යන්ත්‍ර- කාලගුණය, දේශගුණය, වර්ෂාපතනය, සුළඟේ වේගය හා දිශාව යන සාධක පෙන්නුම් කරයි. ඒ අනුව බෝග වගාවට හා අස්වනු නෙලීමට සුදුසුම කාලය තීරණය කල හැක.

වගාබිමෙහි තත්වය මනින උපකරණ-මෙමගින් වගාබිමෙහි තෙතමනය, සරු නිසරු බව, පසේ PH අගය යනාදිය නිරීක්ෂණය කොට බෝග වගාවට සුදුසු නුසුදුසු බව තීරණය කරයි.

ස්වයංක්‍රීය වල්පැල නෙලනය-ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මෙම උපකරණ මගින් වල්පැල හා බෝග වෙන්කර හදුනාගෙන වල්පැල ගලවා ඉවත්කරයි. මේ නිසා ශ්‍රමිකයන් හිඟකම යන ගැටලුවට පිළිතුරු ලබාගත හැක.

රොබෝ තාක්ෂණයෙන් පැල සිටුවීම- විශාල වගාබිම්වල පැල එහාමෙහා ගෙනයාමටත් පැල අතර පරතරය නිසිලෙස පවත්වාගෙන පැල සිටුවීමට මෙම යන්ත්‍ර යොදාගනී.

ස්වයංක්‍රීය ජල සැපයුම (Drip irrigation)- පසට යොමුකොට ඇති තෙතමනයට සංවේදී ක්ෂුද්‍ර සංවේදක හරහා වගාබිමේ තෙතමනය පරීක්ෂා කොට සුදුසු අවස්ථාවලදී ස්වයංක්‍රීයව ජල සැපයුම සිදුකරයි.

ස්වයංක්‍රීය කුරුමිණිපාලන යන්ත්‍රය - මේ හරහා ක්ෂුද්‍ර සංවේදක භාවිතා කොට වගාබිමෙහි සැරිසරන කුරුමිණිවර්ග, සිටින දිශාව, වර්ධාය වන ආකාරය හඳුනාගැනීම හා ග්‍රහණය කරගැනීම සිදුකරයි.

රොබෝ තාක්ෂණයෙන් අස්වනු නෙලීම- වගාබිමේ සවිකොට මෙන්ම ජංගම උපකරණ මගින් ශාකයක ඵලදාව නිරීක්ෂණය කොට සුදුසු වර්ධන අවස්ථාවල පවතින අස්වනු නෙලාගැනීමට භාවිතා කරයි.

හරිතාගාර(Greenhouse) - භෝග වගාවේදී වර්ෂාව, සුළඟ, උෂ්ණත්ව, කෘමීන්, වසංගත ආදියෙන් බෝග ආරක්ෂාකොට වඩා ගුණාත්මක අස්වනු ලබාගැනීම සදහා හරිතාගාර භාවිතා කරයි. හරිතාගාර තුල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් වගාවන්ට උචිත ලෙස ආර්ද්‍රතාව,ජලය,වාතය,උෂ්ණත්වය  හා ආලෝකය පාලනය කිරීම සිදුකරයි.

ගුවන්විදුලි සංඥා හැඳුනුම් උපකරණය (Radio Frequency Identification Device-RFID)- රේඩියෝ ක්ෂුද්‍ර තරංග භාවිතයෙන් ගොවිපලෙන් දුරස්ථව සිටින සතුන් හඳුනාගැනීම, ගණනය කිරීම සිදුකරයි. මේ සදහා එම ගොවිපළ සතුන්ගේ RFID උපකරණය සවිකොට ඇති අතර පාලන මද්‍යස්ථානය වෙත රේඩියෝ ක්ෂුද්‍ර තරංග හරහා සම්බන්ධ වේ.

තත්වපාලනය- ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන තත්වපාලන උපකරණ මගින් එළදෙනුන්ගෙන් ලබාගන්නා කිරිවල තත්වය පරීක්ෂා කරනු ලබයි.

ගොවිපළ ආරක්ෂාව - ගොවිපළක සතුන්, අස්වනු, වගාබිම්, උපකරණ සොර සතුරන්ගෙන් හා වෙනත් උපද්‍රව වලින් ආරක්ෂා කරගැනීම සදහා CCTV කැමරා, වෙබ් කැමරා, ක්ෂුද්‍ර පාලක යනාදී තාක්ෂණික උපකරණ රැහැන් රහිත මාධ්‍යයන් හරහා සම්බන්ධ කිරීම මගින්, ගොවිපළ පිටස්තර ස්ථානයක සිට වුවද නිරීක්ෂණය කල හැකිය.

ගොවිපළ කළමනාකරණය - ගොවිපළ හිමියාට තම ගොවිපළෙහි වාර්ථා තබාගැනීම, ලාභ අලාභ ගණනයට, සේවක වැටුප්, අස්වනු පිළිබඳ තොරතුරු ආදිය තැන්පත් කරගැනීම සදහා ජංගම දුරකථන, පරිගණක ආදියෙහි සථාපනය කර ඇති ගොවිපළ කළමනාකරණ මෘදුකාංග හරහා සිදුකරගත හැක. එලෙසම අන්තර්ජාලය හා සම්බන්ධ වී වෙළදපොල තත්වය නිරීක්ෂණයෙන් අස්වනු විකිණීම හා සම්බන්ධ තොරතුරු ලබාගත හැක.ඒ අනුව වෙලදපොළ ඉල්ලුම අනුව සැපයීම් සිදුකොට වඩා වැඩි ලාභයක් උපයාගත හැක.

ධීවර කර්මාන්තයේදී- ක්ෂුද්‍ර සංවේදක මගින් මසුන් සිටින ප්‍රදේශ හදුනාගෙන එම තොරතුරු, සන්නිවේදන ක්‍රම ඔස්සේ ධීවර යාත්‍රවල ඇති පරිගණක වෙත ලබාදේ.

GPS (Global Positioning System) මගින් වගාබිම්වල මැනීම් කටයුතු සිදුකිරීමට් භාවිතා කරයි.

මෙවැනි තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කිරීම මගින් වර්තමාන හා අනාගත කෘෂි අවශ්‍යතා ,ඉහල ගුණාත්මක තත්වයකින්,කලට වේලාවට,අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් හා සාධාරණ මිලක් යටතේ ලබාදිය හැක.නමුත් තාක්ෂණයෙන් ඌණ සංවර්ධිත රටවලට මෙම තාක්ෂණයන් යථාර්ථයක් කරගැනීමට දැඩි කැපවීමක් හා උනන්දුවක් පැවතිය යුතුවේ.

No comments: