Friday, June 4, 2021

සුහුරු නගරය(Smart City)

සුහුරු නගරය(Smart City)

අද අප පසුකරමින් සිටින්නේ විද්‍යුත් යුගයයි.මෙම යුගයේදී ඉතාම වැදගත් උපකරණය වන්නේ පරිගණකයයි. පරිගණකය මෙන්ම ඒහා බැඳුණු අන්තර්ජාලය,සුහුරු උපකරණ(Smart Devices),ක්ෂුද්‍ර පාලක(Micro Sensors),මෘදුකාංග ,කෘතීම මොළය වැනි තාක්ෂණික උපකරණ හා ක්‍රමෝපායන් මේ වන විටත් ලොවපුරා ප්‍රචලිත වී ඇත.

සාම්ප්‍රදායික නගරයක මූලික ලක්ෂණ වන්නේ නගරය තුල බොහෝ ක්‍රියාවලි තාක්ෂණය මත පදනම් නොවී සිදුකරලීමයි.තාක්ෂණය භාවිතා වුවද එමගින් නගරයේ ක්‍රියාවලි (විදුලි පහන් දැල්වීම,නිවීම,කඩ සාප්පු ස්වයංක්‍රීයව විවෘත කිරීම හා වසාදැමීම, ජලපවාහන කටයුතු ස්වයංක්‍රීයව සිදුකිරීම, අපද්‍රව්‍ය බැහැරකිරීම, නඩත්තු කටයුතු සිදුකිරීම, පුස්තකාල ,පාසල්, බැංකු, ආයතන,බිල් ගෙවීම ,ආපන ශාලා වල කටයුතු ස්වයංක්‍රීයව සිදුකිරීම)වැනි කටයුතු සිදුනොවන අතර ඒවා හස්තමූලිකව(Manually) සිදුවේ.

තාක්ෂණයේ අඛණ්ඩ දියුණුවත් සමග ඉහතින් දැක්වූ ක්‍රියාවලි හා තවත් බහුවිධ ක්‍රියාවලි ස්වයංක්‍රීය ලෙස, මෘදුකාංග, ක්ෂුද්‍ර පාලක, අන්තර්ජාල සංරචක(IOT) වැනි තාක්ෂණයන් භාවිතයෙන් සිදුකරනු ලබන නවීන අධි තාක්ෂණික නගර ලෙස හඳුන්වනු ලබයි.ලෝකයේ දැනට වඩාත්ම දියුණු සුහුරු නගරය සිංගප්පූරුවේ නිර්මාණය කොට ඇත.

සුහුරු නගරයක මූලික සිද්ධාන්තය වන්නේ විවිධාකාර වූ තාක්ෂණික,විද්‍යුතමය හා ක්ෂුද්‍ර සංවේදක හරහා නගරය තුල දත්ත එකතුකිරීමයි.මෙම දත්ත හරහා නගරය තුල වූ වත්කම්,පහසුකම් හා සේවාවන් වඩා කාර්‍යක්ශමව භාවිතා කිරීමෙන් නගරය තුල වූ විවිධාකාර ක්‍රියාකාරකම් වඩා වේගයෙන් සිදුකිරීමට හැකියාව ලැබීමයි. එපමණක් නොව නගරයේ ජනතාව,උපකරණ ,ගොඩනැගිලි හා වෙනත් වත්කම් වල දත්ත ලබාගෙන ඒවා සකස්කොට විශ්ලේෂණය කිරීමෙන් නගරය තුල පවතින වාහන තදබදය, ගමනාගමනය, බලශක්ති මධ්‍යස්ථාන, ජලසම්පාදන ක්‍රම, අපද්‍රව්‍ය ,අපරාධ විමර්ශනය, තොරතුරු පද්ධති, පාසල්, පුස්තකාල , බැංකු, ආරෝග්‍යශාලා හා අනෙකුත් ප්‍රජාසත්කාරක සේවා පහසුකම් කළමනාකරණය කල හැක.

ටෙලි සන්නිවේදනය,ක්ෂුද්‍ර පාලක යන තාක්ෂණයන් සුහුරු නගර සංකල්පය හා සෘජුවම බැදී පවතී.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,කෘතීම මොළය(Artificial Intelligence),දත්ත විශ්ලේෂණ(Data Analysis),IOT(Internet Of Things)යන සංකල්ප මත දත්ත ඒකරාශි කිරීම හරහා නගරයේ බහුවිධ ක්‍රියාවලි හා සේවාවන් ඉතා පහසුවෙන්,කාර්‍යක්ශමව හා ඵලදායි ලෙස නාගරික ප්‍රජාවට සම්බන්ධ කල හැකිවීම මෙම සුහුරු නගරය සංකල්පයේ ඇති වටිනාකමක් ලෙස දැක්විය හැක.

සුහුරු නගර සංකල්පය වඩාත් පෝෂණය කිරීමට “ස්මාර්ට් ග්‍රිඩ්"(Smart Grid) යන තාක්ෂණය මූලික කරගනී.ස්මාර්ට් ජංගම දුරකථන,ටැබ්ලට් පරිගණක වැනි සුහුරු උපාංග භාවිතා කිරීම මගින් වඩාත් කාර්‍යක්ශමව හා පහසුවෙන් සුහුරු නගරය සමග සන්නිවේදනය කල හැකිය.”ටෙලිකොමියුනිකේෂන්(Telecommunication),ටෙලි හෙල්ත් (Telehealth), බොලොක් චේන්(Bock chain), ෆින්ටෙක්(Fintech), මාර්ගගත බැංකුකරණය(Online Banking)” සුහුරු නගර සංකල්පය හා බැඳුණු ඉතා දියුණු තාක්ෂණික ක්‍රමෝපායන් ලෙස දැක්විය හැක.”ස්මාර්ට් කාර්ඩ්”(Smart Card, Electronic Card) සුහුරු නගරයක භාවිතා වන පුද්ගල අනන්‍යතාවය(Personal Identification)තහවුරු කිරීමට භාවිතා කරයි.මෙම කාඩ්පත් මගින් සුහුරු නගරයක බොහෝ රාජ්‍ය සේවාවන් වෙත වඩා ආරක්ෂකාරීව ප්‍රවේශ විය හැක.

සුහුරු නගර සංකල්පය,ඒ හා බැඳුණු අධි තාක්ෂණික ක්‍රමවේදයන් අපවැනි රටකට නවමු අත්දැකීමක් වන අතර එම තාක්ෂණික ක්‍රමවේදයන් නාගරික ප්‍රජාවට පමණක් නොව හුදු මහජනතාවට ක්‍රමානුකූලව සමීප කරවීම හරහා ඉදිරි අනාගතයට ගැලපෙන තාක්ෂයෙන් පිරිපුන් මිනිසුන්(Technological Human) බිහිකිරීමට හැකියාව ලැබෙනු ඇති.

No comments: