Friday, July 2, 2021

තොරතුරු පද්ධති( Information system)

තොරතුරු පද්ධති( Information system)

පද්ධතියක් යනු යම්කිසි නිශ්චිත අරමුණක් ඉටුකරගැනීම සදහා ක්‍රියාත්මක වන අන්තර් සම්බන්ධීකරණයක් සහිත සංඝටක රැසක ක්‍රමවත් ඒකරාශිවීමකි. මිනිසා,පරිසරය,පාසැල,රෝහල යනාදිය පද්ධති වලට උදාහරණ කිහිපයකි.බොහොමයක් පද්ධති තම අරමුණුවලට ළඟාවීම සදහා එම පද්ධතිය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන කුඩා උපපද්ධති රැසක සහයෝගය ලබාගනී.මෙම උපපද්ධති සියල්ලේම අභ්‍යන්තර සම්බන්ධීකරණයක් සහිතව ක්‍රියාත්මක වීම තුලින් සමස්ථ පද්ධතියේ අරමුණු ඉටුකරගැනීමට හැකියාව ලැබේ.

පද්ධතියක් පිළිබඳ සලකූ විට ආදාන,ක්‍රියාවලි හා ප්‍රතිදාන ලෙස එම පද්ධතියේ මූලික සංඝටක වර්ගීකරණය කළ හැක.එලෙසම සෑම පද්ධතියකම සත්‍ය ලෙසට මෙන්ම අතත්‍ය ලෙසටත් සීමාවන් පවතී.මෙය පද්ධති සීමාව(System boundary) ලෙස හැඳින්වේ.උදාහරණ ලෙස,නිවස පද්ධතියක් ලෙස සැලකූ විට එහි මායිම් පද්ධති සීමාව ලෙස සැළකිය හැක.

පද්ධති පහත පරිදි වර්ගීකරණය කළ හැක.

විවෘත හා සංවෘත පද්ධති (Open closed system)- බාහිර පරිසරය සමග සම්බන්ධ වී එය තුලින් ආදාන ලබාගැනීම හා ප්‍රතිදන ලබාදෙන පද්ධති විවෘත පද්ධති වේ. උදාහරණ ලෙස,මානව ස්වසන පද්ධතිය දැක්විය හැක.එමෙන්ම බාහිර පරිසරයෙන් ආදාන ලබාගැනීමක් හෝ බාහිර පරිසරයට ප්‍රතිදාන ලබාදීමක් සිදුනොකරන පද්ධති සංවෘත පද්ධති වේ.මානව රුධිර සංසරණ පද්ධතිය සංවෘත පද්ධතයට උදාහරණයකි.

ස්වාභාවික පද්ධති සහ මානව පද්ධති (Natural Manmade system)- ස්වාභාවිකව නිර්මාණය වී ඇති පද්ධති මෙම වර්ගයට අයත් වේ. මෙම පද්ධති නිර්මාණයට මිනිසාගේ දායකත්වයක් නොමැත.උදාහරණ ලෙස ගංගා,ඇලදොල යනාදිය.නමුත් මිනිසා විසින් සාදන ලද පද්ධති ස්වාභාවිකව නිර්මාණය වූවක් නොවේ.උදාහරණ ලෙස,මහාමාර්ග,නගර,දුම්රිය මාර්ග දැක්විය හැක.

ඉහතින් විස්තර කරන ලද මූලික පද්ධති සංකල්ප අනුව,තොරතුරු පද්ධති(Information system) යනු කුමක්ද යන්න සළකාබැලීම වැදගත් වේ.එසේනම් තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වෙන්නේ “ආදානයක් ලෙස දත්ත ලබාගෙන එම දත්ත සකස්කොට තොරතුරු ප්‍රතිදානය කරනු ලබන පද්ධති වේ.”මේවාට උදාහරණ ලෙස,ආයතනයක ගිණුම් සැකසීමේ පද්ධති,ආයතනයක කළමනාකරණ පද්ධති,බැංකු ගිණුම් පද්ධති ,විකුණුම් කළමනාකරණ පද්ධති දැක්විය හැක.

තොරතුරු පද්ධති ක්‍රියාත්මක වන ආකාරය අනුව ප්‍රධාන වර්ග දෙකකට වර්ග කළ හැක.

හස්ත මූලික තොරතුරු පද්ධති - මිනිස් ශ්‍රමයට මූලිත්වය දෙමින් දත්ත තොරතුරු බවට පත්කරනු ලබන පද්ධති වේ. වෙළඳ ව්‍යාපාරයක බිල් සැකසීම උදාහරණයක් ලෙස දැක්විය හැක.

ස්වයංක්‍රීය තොරතුරු පද්ධති - පරිගණක, අන්තර්ජාලය යන තාක්ෂණයන් යොදාගෙන ක්‍රියාත්මක කරනු ලබන පද්ධති වේ. මෙම පද්ධති වල කාර්‍යක්ශමතාව,නිර්වද්‍යතාව හස්තමූලික තොරතුරු පද්ධතිවලට වඩා ඉහල වේ.එයට හේතුව මිනිසුන් අතින් තොරතුරු සකස්කරනවිට සිදුවන දෝෂ ප්‍රමාණය වැඩිවීම හා ඒ සදහා ගතවන කාලය වැඩිවීමත්,සවයංක්‍රීය තොරතුරු පද්ධති කාර්‍යක්ශමව හා වඩා නිවැරදිව ක්‍රියාත්මක වීමත්ය.

වර්තමානයේ ආයතන වෙළඳ ව්‍යාපාර,පාසැල්,රෝහල් වල පරිගණක පාදක කරගත් විවිධාකාර වූ තොරතුරු පද්ධති ක්‍රියාත්මක වේ.පරිගණක පාදක තොරතුරු පද්ධතියක පවතින අංග ලෙස,දෘඪාංග,මෘදුකාංග,පරිශීලකයන්,වැඩසටහන් සම්පාදකයින්,දත්ත හා කාර්ය පටිපාටි වේ.පරිගණක පාදක තොරතුරු පද්ධති පහත පරිදි වර්ගීකරණය කළ හැක.

කාර්ර්‍යාල ස්වයංකරණ පද්ධති (Office automation system)

ගණුදෙනු සැකසුම් පද්ධති (Transaction processing system)

කළමනාකරණ තොරතුරු පද්ධති (Management information system)

තීරණ ගැනීමේ සහායක පද්ධති (Decision support system)

විධායක සහායක පද්ධති (Executive support system)

භූගෝලීය තොරතුරු පද්ධති (Geographical information system)

දැනුම් කළමනාකරණ පද්ධති (Knowledge management system)

අන්තර් කළමනාකරණ පද්ධති (Content management system)

ව්‍යවසාය සම්පත් කළමනාකරණ පද්ධති (Enterprise resource management system)

සුහුරු පද්ධති (Smart system)

ඉහතින් දක්වන ලද පද්ධති එකිනෙකට වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වන තොරතුරු පද්ධති වේ.ලබාගන්නා දත්ත වල ස්වාභාවය,සකස්කරන ආකාරය වෙනස්කම් ලෙස දැක්විය හැක.එම පද්ධති පිළිබඳව විස්තර කිරීම් ඉදිරි ලිපි හරහා පරිශීලනය කළ හැක.

වර්තමාන හා අනාගත ලෝකයේ අවශ්‍යතාවලට අනුව පරිගණකපාදක තොරතුරු පද්ධති නිර්මාණය කළ යුතු අතර එම පද්ධති මිනිසාගේ නානාප්‍රකාර අවශ්‍යතා මනාව සම්පූර්ණ කරනු ඇත.

No comments: