Friday, June 4, 2021

සුහුරු නගරය(Smart City)

සුහුරු නගරය(Smart City)

අද අප පසුකරමින් සිටින්නේ විද්‍යුත් යුගයයි.මෙම යුගයේදී ඉතාම වැදගත් උපකරණය වන්නේ පරිගණකයයි. පරිගණකය මෙන්ම ඒහා බැඳුණු අන්තර්ජාලය,සුහුරු උපකරණ(Smart Devices),ක්ෂුද්‍ර පාලක(Micro Sensors),මෘදුකාංග ,කෘතීම මොළය වැනි තාක්ෂණික උපකරණ හා ක්‍රමෝපායන් මේ වන විටත් ලොවපුරා ප්‍රචලිත වී ඇත.

සාම්ප්‍රදායික නගරයක මූලික ලක්ෂණ වන්නේ නගරය තුල බොහෝ ක්‍රියාවලි තාක්ෂණය මත පදනම් නොවී සිදුකරලීමයි.තාක්ෂණය භාවිතා වුවද එමගින් නගරයේ ක්‍රියාවලි (විදුලි පහන් දැල්වීම,නිවීම,කඩ සාප්පු ස්වයංක්‍රීයව විවෘත කිරීම හා වසාදැමීම, ජලපවාහන කටයුතු ස්වයංක්‍රීයව සිදුකිරීම, අපද්‍රව්‍ය බැහැරකිරීම, නඩත්තු කටයුතු සිදුකිරීම, පුස්තකාල ,පාසල්, බැංකු, ආයතන,බිල් ගෙවීම ,ආපන ශාලා වල කටයුතු ස්වයංක්‍රීයව සිදුකිරීම)වැනි කටයුතු සිදුනොවන අතර ඒවා හස්තමූලිකව(Manually) සිදුවේ.

තාක්ෂණයේ අඛණ්ඩ දියුණුවත් සමග ඉහතින් දැක්වූ ක්‍රියාවලි හා තවත් බහුවිධ ක්‍රියාවලි ස්වයංක්‍රීය ලෙස, මෘදුකාංග, ක්ෂුද්‍ර පාලක, අන්තර්ජාල සංරචක(IOT) වැනි තාක්ෂණයන් භාවිතයෙන් සිදුකරනු ලබන නවීන අධි තාක්ෂණික නගර ලෙස හඳුන්වනු ලබයි.ලෝකයේ දැනට වඩාත්ම දියුණු සුහුරු නගරය සිංගප්පූරුවේ නිර්මාණය කොට ඇත.

සුහුරු නගරයක මූලික සිද්ධාන්තය වන්නේ විවිධාකාර වූ තාක්ෂණික,විද්‍යුතමය හා ක්ෂුද්‍ර සංවේදක හරහා නගරය තුල දත්ත එකතුකිරීමයි.මෙම දත්ත හරහා නගරය තුල වූ වත්කම්,පහසුකම් හා සේවාවන් වඩා කාර්‍යක්ශමව භාවිතා කිරීමෙන් නගරය තුල වූ විවිධාකාර ක්‍රියාකාරකම් වඩා වේගයෙන් සිදුකිරීමට හැකියාව ලැබීමයි. එපමණක් නොව නගරයේ ජනතාව,උපකරණ ,ගොඩනැගිලි හා වෙනත් වත්කම් වල දත්ත ලබාගෙන ඒවා සකස්කොට විශ්ලේෂණය කිරීමෙන් නගරය තුල පවතින වාහන තදබදය, ගමනාගමනය, බලශක්ති මධ්‍යස්ථාන, ජලසම්පාදන ක්‍රම, අපද්‍රව්‍ය ,අපරාධ විමර්ශනය, තොරතුරු පද්ධති, පාසල්, පුස්තකාල , බැංකු, ආරෝග්‍යශාලා හා අනෙකුත් ප්‍රජාසත්කාරක සේවා පහසුකම් කළමනාකරණය කල හැක.

ටෙලි සන්නිවේදනය,ක්ෂුද්‍ර පාලක යන තාක්ෂණයන් සුහුරු නගර සංකල්පය හා සෘජුවම බැදී පවතී.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,කෘතීම මොළය(Artificial Intelligence),දත්ත විශ්ලේෂණ(Data Analysis),IOT(Internet Of Things)යන සංකල්ප මත දත්ත ඒකරාශි කිරීම හරහා නගරයේ බහුවිධ ක්‍රියාවලි හා සේවාවන් ඉතා පහසුවෙන්,කාර්‍යක්ශමව හා ඵලදායි ලෙස නාගරික ප්‍රජාවට සම්බන්ධ කල හැකිවීම මෙම සුහුරු නගරය සංකල්පයේ ඇති වටිනාකමක් ලෙස දැක්විය හැක.

සුහුරු නගර සංකල්පය වඩාත් පෝෂණය කිරීමට “ස්මාර්ට් ග්‍රිඩ්"(Smart Grid) යන තාක්ෂණය මූලික කරගනී.ස්මාර්ට් ජංගම දුරකථන,ටැබ්ලට් පරිගණක වැනි සුහුරු උපාංග භාවිතා කිරීම මගින් වඩාත් කාර්‍යක්ශමව හා පහසුවෙන් සුහුරු නගරය සමග සන්නිවේදනය කල හැකිය.”ටෙලිකොමියුනිකේෂන්(Telecommunication),ටෙලි හෙල්ත් (Telehealth), බොලොක් චේන්(Bock chain), ෆින්ටෙක්(Fintech), මාර්ගගත බැංකුකරණය(Online Banking)” සුහුරු නගර සංකල්පය හා බැඳුණු ඉතා දියුණු තාක්ෂණික ක්‍රමෝපායන් ලෙස දැක්විය හැක.”ස්මාර්ට් කාර්ඩ්”(Smart Card, Electronic Card) සුහුරු නගරයක භාවිතා වන පුද්ගල අනන්‍යතාවය(Personal Identification)තහවුරු කිරීමට භාවිතා කරයි.මෙම කාඩ්පත් මගින් සුහුරු නගරයක බොහෝ රාජ්‍ය සේවාවන් වෙත වඩා ආරක්ෂකාරීව ප්‍රවේශ විය හැක.

සුහුරු නගර සංකල්පය,ඒ හා බැඳුණු අධි තාක්ෂණික ක්‍රමවේදයන් අපවැනි රටකට නවමු අත්දැකීමක් වන අතර එම තාක්ෂණික ක්‍රමවේදයන් නාගරික ප්‍රජාවට පමණක් නොව හුදු මහජනතාවට ක්‍රමානුකූලව සමීප කරවීම හරහා ඉදිරි අනාගතයට ගැලපෙන තාක්ෂයෙන් පිරිපුන් මිනිසුන්(Technological Human) බිහිකිරීමට හැකියාව ලැබෙනු ඇති.

Tuesday, October 10, 2017

පෘතුවිය තවදුරටත් මිනිසාගේ පැවැත්ම සදහා සුදුසුද?


අතීතයේ පටන් මිනිසාගේ විවිධාකාර වූ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස පෘතුවිය මිනිසාට තව දුරටත් ජීවත්වීම සදහා නුසුදුසු වෙමින්  පවතින බව,ඔක්ස්ෆර්ඩ් සරසවියේ භෞතික විද්‍යා මහාචාර්ය "හොස්කින්" මහතා අනතුරු හගවයි.

කාර්මිකකරණය සහ නොයෙකුත් විෂ රසායනික ක්‍රියාවලි නිසා පෘතුවි ජීවීන්ට අනාගතයේදී භයානක වසංගත රෝග,අභාවකාශ වස්තු පතිතවීම හෝ උල්කාපාත වර්ෂාවන් වැනි දේ වලට මුහුණදීමට සිදුවන අතර එයට මුහුණදීමට මිනිසාට හැකියාවක් නොමැති වීම නිසා මිනිසා මිහිමතින් තුරන්වීම නවතාලිය නොහැකි බව ඔහු අනතුරු හගවයි.

ගෝලීය උණුසුම ඉහලයාම හේතුවෙන් දැනටමත් ග්‍රීන්ලන්තය දියවීමට පටන් ගැනීමෙන් බ්‍රිතාන්‍ය‍ය අයිස් යුගයක් කරා ගමන් කරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටී.එමෙන්ම පසුගිය මාස කීපය තුල සිදුකල ගවේෂණ වලින් හෙලි වී ඇති පරිදි සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක වලින් සැලකිය යුතු ප්‍රමාණයක් අතුරුදහන් වී ඇති බවද ඔහු පවසයි.

මහාචාර්ය හෝකින් යනු පෘතුවියේ අනාගතය පිලිබදව රෝද පුටුවේ සිට නොයෙකුත් ජනප්‍රිය අනාවැකි පළකරන්නෙකු වන අතර ඔහුගේ දත්ත වලට අනුව දේශගුණික විපර්යාස,වසංගත රෝග,ග්‍රහ වස්තු වල විපර්යාස නිසා මිනිසාට සිදුවන අනතුරු වලින් බේරීමට නම් ඉදිරි වසර 100 තුල මිනිසා පෘතුවියෙන් ඉවත්විය යුතු බවද ඔහු පසුගිය වසරේ ඔක්ස්ෆර්ඩ් සන්සදයේදී අනතුරු හගවා තිබේ.

කෙසේ නමුදු ඔහුගේ මෙවැනි අනාවැකි වලින් අපට පසක් වෙන්නේ බුදුන් වහන්සේ දේශනා කල ලෝක විනාශයම වැඩි ඈතක නොවන බව නොවන්නේද?
සටහන:-තිස්ස නවරත්න විසිනි.

Tuesday, March 21, 2017

Monday, August 1, 2016

සමාජ ජාල භාවිතය රෝගවලට අතවැනීමක්ද?




දියුණුවන ලෝකයත් සමග තාක්ෂණයේ නවමුකරණයන් සිදුවීම මිනිසාගේ දියුණුවට මෙන්ම පරිහාණියටද හේතුපාදක වන බව අපකවුරුත් හොදින් දන්නා කරුණකි.සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන ප්‍රමාණය එන්න එන්නම වැඩිවීම තුලින් අපට වැටහෙන කරුණ නම් එය අද බාල,තරුණ,මහළු කාටත් අවශ්‍ය මෙවලමක් බවට පත්ව ඇතිබවයි.

සමාජජාල වෙබ් අඩවි තම එදිනෙදා ජීවන රටාවන් වලට ඉතා තදින් බද්ධ වී ඇතිබව එය භාවිතා කරන කාටවුවද වැටහෙන කරුණකි.ගමන් බිමන් වල යෙදුනද,කෑමක් බීමක රස බැලුවද,අළුත් ඇදුමක්,මෙවලමක් මිලදී ගත්තද,ප්‍රිය සම්භාෂණයකට සහභාගී වුවද මෙකී නොකී කුමන ආකාරයේ ක්‍රියාවලියක නිරත වුවද එහි රූපරාමු,වීඩියෝ දර්ශණ සමාජ ජාල වෙබ් අඩවි වෙත යොමු කොට කැමැත්ත (Likes) කොතරම් ප්‍රමාණයක් ලැබී ඇතිද යන්න විමසා බලා සතුටුවීම අද උන්මාදයක් බවට පත්ව ඇත.එලෙසම ඒවා නරඹන අය දක්වන විවේචනයන් (Comments) බලා සතුටු වීම හෝ නොසතුටු වීම නිසා එය විවිධ රෝග රැසකට අතවැනීමක් බවට පත්ව ඇත.

මෑතකාලයේ ඇමරිකාව ආශ්‍රිත අධ්‍යනයකදී "National Institute Of Mental Health"නැමති අනුග්‍රාහක ආයතනය හදුනාගත් පරිදි සමාජ ජාල වෙබ් අඩවි භාවිතය හා මානසික අවපීඩනය (Depression) අතර විශාල සබදතාවයක් පවතින බව සොයාගෙන ඇත.එමෙන්ම සමාජ ජාල වෙබ් අඩවි භාවිතාකරන කාලය,ප්‍රමාණය අනුව මානසික අවපීඩනය ඉහලගොස් ඇති බවද සොයාගෙන ඇත.

මානසික අවපීඩනය ඇතිවීමට සමාජ ජාල තුලට ඇතුලත් කරන අන්තර්ගතයන් හේතුවන බවද පර්යේෂකයන් විසින් තහවුරු කොට ඇත.කෙනෙකු තමාට වඩා සතුටින්,සැපෙන් ජීවත්වන රූපරාමු,වීඩියෝපට දැකීම තුලින් තම පිලිබද ආත්ම සම්මානය (Self Esteem) අඩුවීම දැක්විය හැක.සංසන්දනය කිරීම මිනිසාගේ සහජ පුරුද්දක් වීම ඊට හේතුවයි.

දීර්ඝ කාලයක් සමාජ ජාල වෙබ අඩවි භාවිතා කිරීම නිසා "Decision Paralysis",දුෂ්ඨි ආබාධ මෙන්ම නිදි චක්‍රය (Sleep -Cycle) අක්‍රමවත් වී විවිධ රෝගවලට ලක්වීමේ අවධානමක්ද පවතින බව මේවන විට පර්යේෂකයින් සොයාගෙන ඇති කාරණා අතර කිහිපයකි.

දිගින් දිගටම සමාජ ජාල භාවිතය පුරුද්දක් කර ගැනීම නිස එයට ඇබ්බැහිවීම සිදුවන බවද ඒ නිසාම අධික තරබාරුකම,දියවැඩියාව,කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහලයාම,බෙල්ල,කොන්ද,අතපය ආශ්‍රිත ආබාධ ඇතිවීම නිසා මිනිසා රෝගීන් බවටද පත්ව ඇති බවද සොයාගෙන ඇත.

රෝගාබාධ පමණක්ම නොව සමාජ සබදතා බිදවැටී සමාජයෙන් කොන්වීම,යහපත් හැකියාවන් මොටවීයාම වැනි බරපතල සමාජීය ගැටලු රැසකටද සමාජජාල වෙබ් අඩවි වලට ඇබ්බැහිවීම නිසා ඇතිවන බව පර්යේෂකයින්ගේ මතයයි.


Tuesday, June 21, 2016

අන්තර්ජාලය තුල අප සුරක්ෂිතද?


වයස් බේදයකින් තොරව බැලූවිට වර්තමානයේ අන්තර්ජාලය අප කාටත් නැතුවම බැරි සේවාවක් වී හමාරය.දිනකට අන්තර්ජාලය පරිශීලනය කරන ප්‍රමාණය එන්න එන්නම ඉහලයාම එහි අවශ්‍යතාවය මනාව පිළිබිඹු කරයි.දියුණු යුරෝපා රටවල ජනතාව තම ආහාරවේල පවා අන්තර්ජාලය හරහා ඇණවුම් කිරීම,තම දෙනික කටයුතු,කාර්‍යාල කටයුතු පවා අන්තර්ජාලය මූලික කොටගෙන සිදුකරනු ලබන බව අපහට රහසක් නොවේ.

යුරෝපා රටවලට පමණක් නොව ආසියානු රටවල පවා අද අන්තර්ජාලය සහ ඒහා බැදුනු සේවාවල් වන Email, Social Network, Online Services(Banking,Shopping,Storage) භාවිතා කරන ප්‍රමාණය අතිමහත්ය.Pew Reserch Internet Project නැමැති ව්‍යාපෘතියට අනුව 57% තරුණ ළමුන් මිතුරන් ඇතිකරගැනීමටද 84% පිරිමි ළමුන් අන්තර්ජාලය හරහා බැදුනු ක්‍රීඩාවල නිරතවීමද 68% තරුණ ළමුන් සමාජ ජාල ආශ්‍රිත මිතුරන් හා සම්බන්ධ වී ඇතිබව සොයාගනුලැබ ඇත.එම දත්ත දෙස බැලූ විට අන්තර්ජාලය භාවිතය ගැන මනා අවබෝධයක් ලබාගත හැක.

කාරණය එසේවුවද අද ලෝක ප්‍රජාව මුහුණ දී ඇති බරපතල ගැටළු වලට හේතුපාදක වී ඇත්තේද අන්තර්ජාලයම බව කිවමනාය.ඇත්තෙන්ම "අන්තර්ජාලය තුල අප සුරක්ෂිතද?" යන ප්‍රශ්ණයට පිළිතුරු සෙවීමට කාලය එලබ තිබේ.ප්‍රතිවෛරස වැනි මෘදුකාංග(Antivirus), ෆයර් වෝල්(Firewall),  මුරපද යෙදීම, Parental Control Options, Blocking & Filtering Software වැනි පරිගණක ආරක්ෂක වැඩසටහන් හා විවිධාකාර වූ තාක්ශණික උපක්‍රම භාවිතා කල පමණින්ම අප අන්තර්ජාලය තුල සුරක්ෂිත නැත.එයට හේතුව තාක්ෂණික උපක්‍රම පමණක් යෙදූ පමණින් අප අන්තර්ජාලය තුල හැසිරෙන ආකාරය හා අපේ ක්‍රියාවලීන් පාලනය කල නොහැකි බැවිනි.

අප අන්තර්ජාලය තුල හැසිරෙන ආකාරය,අපේ රුචි අරුචිකම්,අවශ්‍යතා ශණිකව අවබෝධකරගත හැකි පිරිසක් නිරන්තරයෙන් අන්තර්ජාලය තුල සැරිසරමින් සිටී.සේවා සහායකයින් (Service Assistants, Black Hackers, Crackers) වැනි පුද්ගලයින් අපට හිතවත් ලෙස පෙනී සිටිමින් හොර රහසේම අපව ඔවුන්ගේ පාලනයට නතුකරගැනීමට මෙන්ම අපේ පෞද්ගලිකත්වයට මෙන්ම Credit Card හා බැංකු ගිණුම් තොරතුරු සූක්ෂම ලෙස ලබාගත හැකිදැයි සොයනු ලබයි.

විවිධ ව්‍යාපාර වෙබ් අඩවි හරහා මනස විනාශකරන අසැබි වීඩියෝපට,ආයුධ නිපදවන ක්‍රම,වසවිෂ නිපදවන ක්‍රම වැනි සමාජ විරෝධී ක්‍රියා සිදුකරන ආකාරය දැක්වෙන රූපරාමු,වීඩියෝපට වැනි බහුමාද්‍ය භාවිතා කරමින් ඔවුන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට නිරන්තර උත්සාහයක යෙදෙන පුද්ගලයින් අඩු නැතිව අන්තර්ජාලය තුල සැරිසරනු ලබයි.එවැනි දේ ගැන දැණුම අඩු පුද්ගලයින් ඔවුන්ගේ ගොදුරුවලට පත්වී තම මනස පමනක් නොව තම දේපල,මුදල් මෙන්ම තම පවුල් සන්ස්ථාව පවා විනාශ කරගැනීම සම්බන්ධයෙන් උදාහරණ ඕනෑතරම් දැක්විය හැක.ඒ පිළිබදව විමසන විට පෙනී යන්නේ සැබැවින්ම අප අන්තර්ජාලය තුල සුරක්ෂිත නැත යන්නයි.

මෑත කාලයේ විවිධ සමාජජාල (Social Networks) වෙබ් අඩවි හරහා සිදුවී ඇති අන්තර්ජාල අපරාධ (Cyber Crimes) දෙස බැලූවිට ප්‍රජාව කෙතරම් දැනුවත් වුවද ඊටත් වඩා දැනුවත්,උපක්‍රමශීලී පුද්ගලයින් අන්තර්ජාලය තුල බැටළු හම පොරවාගෙන හිතවතුන් ලෙස පෙනී සිටින බවයි.

සමාජසේවා ආයතන හා විවිධ තාක්ශණික ආයතන අන්තර්ජාලය පිළිබදව ප්‍රජාව දැනුවත් කිරීමට දැඩි පරිශ්‍රමයක් දරනු ලබයි.Child Exploitation & Online Protection Center (CEOP) පිටුදැකීම (Prevent), ආරක්ෂාවීම (Protection),ලුහුබැදීම(Pursue) යන ත්‍රිවිධ ක්‍රියාවලි හරහා අන්තර්ජාලය තුල පුද්ගලයින් ආරක්ෂාකිරීමට පරිශ්‍රමයක් දරනු ලැබීම තරමක අස්වැසිල්ලකි.ISP හෙවත් අන්තර්ජාල සේවා සපයන ආයතනද Parental Control Options, Blocking & Filtering Software,Firewalls වැනි පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය තුල පරිවහණය වැළැක්වීමේ උපක්‍රම හරහා අන්තර්ජාලය තුල යම්කිසි ආරක්ෂාවක් ගොඩනැගීමට සමත්ව ඇතිබව කිව යුතුමය.

කරුණු මෙසේ සිදුවුවත් කුමන මට්ටමේ මෘදුකාංග වැනි තාක්ශණික ප්‍රයෝග භාවිතා කලත් අන්තර්ජාලය තුලදී පුද්ගල ආරක්ෂාව ගොඩනගාගැනීමේ ප්‍රධාන වගකීම ඇත්තේ අපසතුවම බව කිව යුතුමය.

Friday, June 10, 2016

ඩිජිටල් ක්‍රීඩා මිනිසුන්ට සහ සමාජයට හිතකරද?


ක්‍රීඩා කිරීම සැබැවින්ම ශාරීරික මෙන්ම මානසික සෞඛයට හිතකරය.ක්‍රීඩාව තුලින් ගත සිත සුවපත්වනවා සේම යහපත් නිරෝගී පුද්ගලයින් හා සමාජ සබධතා ඉන් ගොඩනැගෙන බව අප කවුරුත් අවිවාදයෙන් පිලිගන්නා කරුණකි.

එය එසේ වුවද ඩිජිටල් ක්‍රීඩා නිසා අද විවිධාකාර වූ ගැටලු රාශියක් ගොඩනැගී ඇත.වර්තමානයේ ඩිජිටල් ක්‍රීඩා වලට ඇබ්බැහිවීම් (Addiction) ඉහල යාම සමාජමය ගැටලුවක් බවට ඔඩුදුවා ඇත්තේ එය වැළැක්වීමට හෝ පාලනය කිරීමට ප්‍රමාණවත් උත්සාහයක් ගැනීමට තරම් සමාජය එහි අහිතකර තත්වයන් පිළිබදව නිසි දැණුමක් නොමතිකම නිසාය.

අධ්‍යාපනය ලබන සිසුන්ගේ අධ්‍යන කටයුතු අඩපණ වන මට්ටමට අද ලෝකයේ ඩිජිටල් ක්‍රීඩා පිළිලයක් බවට පත්ව ඇත.වැඩිහිටියන්ට පවා අද ඩිජිටල් ක්‍රීඩා ව්‍යසනය වැළැක්වීමට අපහසු වී ඇත්තේ ඔවුන්ගෙන්ද සමහරක් එයටම යොමුවී ඇති හෙයිනි.එය හරියට "කකුළුවා ඇදේට යමින් පැටවුන්ට කෙළින් යන්න" ‍යැයි කියන්නාක් මෙනි.

American Psychological Association (APL) පවසන පරිදි Game Based Learning (GBL) ක්‍රමවේදයට අනුව නිර්මාණය කොට ඇති ඩිජිටල් ක්‍රීඩා ක්‍රීඩා කිරීම තුලින් මානව හැකියාවන් මෙන්ම පරිගණක ක්‍රියාදාමයන් ඉගෙන ගත හැක.නමුත් බහුතරයක් ක්‍රීඩාවල මූලික අරමුණ GBL නොවන බවනම් ගැටළුවකි.

Halo,Call of Duty, Anderson & Dill 2000,Lynch & Walsh2004,Gentile වැනි Shooter ඩිජිටල් ක්‍රීඩා වල නිරත ක්‍රීඩකයන්ගේ ආක්‍රමණශීලී, නොරිස්සුම් හැසිරීම් රටා වැඩි බවද එම හැසිරීම් සාමාන්‍ය ජීවනරටා වලදීද නරක ලෙසට බලපාන බවද විද්වතුන් විසින් පෙන්වා දී ඇත.මෙය "Seattle Children's Research Institute" මගින්ද තහවුරුකොට ඇත.

"Massachusetts Institute of Technology" හි විද්වතුන් පෙන්වාදෙන පරිදි යෞවනයින් විසින් කරණු ලබන අපරාධ (Juvenile Crimes) සදහා බිහිසුනු ඩිජිටල් ක්‍රීඩා වන Death Race,Mortal Kombat, Doom, Grand Theftsuto වල යම් මට්ටමක දායකත්වයක් පෙන්නුම් කරන බව සොයාගෙන තිබේ.

ඩිජිටල් ක්‍රීඩාවල තවත් අහිතකර තත්වයක් වන්නේ නිතරම මෙම ක්‍රීඩා ක්‍රීඩාකරන පුද්ගලයින් සමාජයෙන් කොන්වන බවයි.එයට හේතුව ඔවුන්ට සමාජ සබදතා (Social Relationships) ගොඩනගා ගැනීමට කාලයක් නොමැති වීමයි.තම විවේක කාලය සමාජ සබදතා ගොඩනගා ගැනීමට නොව ඩිජිටල් ක්‍රීඩා වල යෙදීමට ගතකිරීම ඊට හේතුවයි.

සමාජමය ගැටළු පමණක්ම නොව සෞඛයමය ගැටළු රාශියක් ඇතිවීමට ඩිජිටල් ක්‍රීඩා වල නිතර යෙදෙන පුද්ගලයින් මුහුණපාන බරපතල ගැටළුවකි.අධික තරබාරුකම,අධි රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල්, දියවැඩියාව,අක්ෂි ආබාධ,මැණික් කටුව ආශ්‍රිත ස්නායු ආබාධ,කොන්දේ ආබාධ,මාංශපේශීවල ආබාධ මෙන්ම වැරදි ඉරියව්වෙන් බොහෝ වේලා සිටීම නිසා පිටකොන්දේ දරුණු ආබාධවලට පවා ලක්වීමේ ප්‍රවණතාවයක් ඇති බවද සෞඛය සංවිධාන පෙන්වා දී ඇත.

නිතර ඩිජිටල් ක්‍රීඩා කරන සිසුන්ගේ අධ්‍යන කටයුතු වලට දුර්වල බවද ගැටළුවක් වී ඇත.2012 දී "Psychology of Popular Media Culture" පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශකරන්නේද ඩිජිටල් ක්‍රීඩා වල නිරත පුද්ගලයින්ගේ අවධානය (Attention) හා යමක් අවබෝධකරගැනීමේ හැකියාවටද නරක ලෙස බලපාන බවයි.සමස්ථයක් ලෙස කරුණු විමර්ශණය කරන කොයිකාට වුවද පෙනීයන පැහැදිලි කරුණ නම් කවුරු කෙසේ කීවද ඩිජිටල් ක්‍රීඩා වල නිතර නිරතවීම ගැටළු රාශියකට හේතුපාදක වන බවත් තමා ඩිජිටල් ක්‍රීඩාවලට ඇබ්බැහිවී ඇති බව තමාටම අවබෝධ කර ගැනීමට අපහසු වන බවත්ය.සැබැවින්ම එහි බැරෑරුම්කමද එයම නොවේද?

Tuesday, June 7, 2016

තාක්ශණයෙන් ව්‍යාපාර නව්‍යකරණය


තාක්ශණය වර්තමානයේ විවිධාකාර අංශවල අනාගතය,අභිවෘර්ධිය තීරණය කරන ප්‍රධානතම සාධකය වී ඇත්තාසේම ව්‍යාපාර ලෝකයේ පැවැත්මට අද නැතුවම බැරි සාධකයක් වී ඇත.තාක්ෂණය භාවිතා නොකලහොත් ව්‍යාපාර අතර පවතින තරගකාරී තත්වයට මුහුණදීමට අපොහොසත් වනවා මෙන්ම ව්‍යාපාර බිදවැටීමටද හේතු වන බව පිළිගතයුතු සත්‍යයකි.

සන්නිවේදනය වනාහි ව්‍යාපාරික ලෝකයට අත්‍යාවශ්‍යම සාධකයකි. ගණුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, කොටස්කරුවන්,බැංකු හා වෙනත් මූල්‍ය ආයතන වැනි පාර්ශවයන් නිසි ආකාරයට කලමණාකරණය කිරීමට අද දුරකතන ඇමතුම් වලට වඩා එහාගිය Email,Chatting,Vedio Calling,Vedio Conference වැනි නවීන සන්නිවේදන උපක්‍රම භාවිතා කරන බව අප කවුරුත් දනිමු.සාම්ප්‍රදායික දුරකතන ඇමතුම් වලට එහාගිය ඉහත සන්නිවේදන ක්‍රම නිසා ව්‍යාපාරික ක්‍රියාවලි වලට සක්‍රීයව දායක වන සියලු පාර්ශවයන්ට එම කටයුතු පහසුවෙන්, ක්‍රමවත්ව, ඉක්මනින් සිදුකරගත හැකිවනවා මෙන්ම අන්තර් පුද්ගල සබදතා ආයතනය තුලදී මෙන්ම ඉන් පිටතදී ඕනෑම අවස්ථාවකදී පවත්වාගත හැකිවීම මහත් ප්‍රතිඵලදායකය. "Asana" වැනි Vertual meeting තාක්ශණයන් නිසා වෙළද ව්‍යාපෘති පවා නිසි ආකාරව කලමණාකරණය කල හැකිබව ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන "Lexion Capital" පෙන්වා දෙයි.

අන්තර්ජාල අද ව්‍යාපාර සංවර්ධනයෙහි ලා තෝතැන්නක් වී ඇත.සාම්ප්‍රදායික ගණුදෙනුකිරීම් වලට එහා ගිය ක්‍රමවේදයන් නිසා ගණුදෙනුකරුවන්ට වෙළදපොල තුල භාණ්ඩ තෝරාගැනීමට කාලය වෙන්කල යුතු නැත.නිවසේදීම අන්තර්ජාලය භාවිතයෙන් Online Shopping පහසුකම හරහා  ඉටුකරගත හැක.භාණ්ඩයක වර්ණය, හැඩය, තත්වය එය මිලදී ගැනීමට පෙර හොදින් පිරික්සා බැලිය හැක්කේ "Try Before Buy" ක්‍රමවේදයට අනුවය.

මෙය නිමි අදුම් මෙන්ම ජංගම දුරකථන ,වාහන මිලදී ගැනීමට පෙරද කල හැක.ලෝ ප්‍රකට "Toyota" සමාගමේ නිල වෙබ් අඩවියෙන් තමාට කැමති වාහනයක් තෝරගෙන එයට තමන් කැමති වර්ණය ඇතුලත් කොට විවිධ දිශානති වලට හරවා හැඩ බැලිය හැක.එමෙන්ම  "Vertual Driving" තාක්ෂණය අනුව වාහන ඇතුලත තත්වය මෙන්ම එය ධාවනය කොට බලා ගුණ අගුණ තමාටම තක්සේරු කල හැක.භාණ්ඩ හා සේවා අලෙවිය සදහා Online Marketing , Email Marketing වැනි ක්‍රමවේද උදාහරණ ලෙස දැක්විය හැක.

"Zoho" වැනි Cloud Based Customer Relationship (CRM) සොෆ්ට්වෙයා නිසා ගණුදෙනුකරුවන් මනාව කලමණාකරනය කිරීමට හැකි වූ බව "Stitch to My Lue Promotions" සමාගම පෙන්වා දෙයි.එලෙසම යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවියෙන් පසු සේවාවන් සැපයීම සදහා Online සේවාවන් වන Email, Chatting,Online Trainning ප්‍රතිඵලදායක මෙන්ම කාලය ඉතිරිකරන පහසු ක්‍රමවේදයක් බව ව්‍යාපාරික ලෝකයේ ප්‍රබලයන් පෙන්වා දේ.

Business Intelligence (BI) Tools භාවිතාකිරීමට පෙලඹීම තුලින් ආයතනයේ තොරතුරු භාණඩ හා සේවා වල මිල,සැපයුම්කරුවන්ගේ තොරතුරු පවා ස්වයංක්‍රීය ලෙස විශ්ලේෂණය කොට සකසා ගත හැක.සැබැවින්ම එය ව්‍යාපාරික ක්‍රියාවලීන් වේගවත් කිරීමට හා පහසු කිරීමට මනා පිටුවහලක් වන බව කිව හැක.

Quick Books Online, Vocus PR, Drop Box, Evernote, FTP Hosting වැනි Cloud Based වැඩසටහන් භාවිතාකිරීම නිස ව්‍යාපාරික ක්‍රියවලීන් ඕනෑම තැනක සිට ඕනෑම වේලාවකදී සිදුකරගත හැකිය.මෙනිසා ගමනාගමන වියදම්වල විශාල ඉතිරියක් සිදුවන බවද නිතර කාර්යාලය වෙත යෑමේ අවශ්‍යතාවයක් ඇති නොවන බවද "Style House Public Relation"  සමාගමේ නිර්මාතෘ පවසයි.

තාක්ශණයේ මෙවන් නවමුකරණයන් නිසා ව්‍යාපාරික ආයතන හිමිකරුවන්ට පමණක් නොව සමස්ථ ව්‍යාපාරික ක්‍රියාවලීන් සමග සක්‍රීයව ගැටෙන සියලුම පාර්ශවයන් හට තම ව්‍යාපාරික ක්‍රියාවලීන් වේගවත්ව, ක්‍රමානුකූලව, නිවැරදිව, පහසුවෙන්, ලාභදායීව මෙන්ම ප්‍රතිඵලදායකව ඉටුකරගත හැකිවීම සැබැවින්ම සමස්ථ ව්‍යාපාරික ලෝකයම උඩුයටිකුරු කිරීමට සමත්ව ඇති බව කිසිදු විවාදයකින් තොරව පිළිගත යුතුව ඇත.

Saturday, June 4, 2016

තාක්ශණය හා මිනිස් මොළය


තාක්ශණයේ සීග්‍ර දියුණුවට මිනිසාගේ සමස්ථ ජීවන රටාවට විවිධාකාරයෙන් බලපා ඇති බව අප කාටත් මනාව වැටහෙන කරුණකි.මිනිසාගේ ශරීරය,මනස,ජීවන රටාව,මතකය,අවධානය පමණක් නොව නිදි චක්‍රය (Sleep Cycle) පවා වෙනස් කොට ඇති බව ලෝ වටා නිරන්තරයෙන් කරණු ලබන පර්යේෂණ වලින් මනාව තහවුරු කොට ඇත.

මිනිසාගේ මොළය වූකලී අසීමිත හැකියාවන් වලින් පිරිපුන් වූ අසිරිමත් නිර්මාණයකි.තාක්ශණයේ දියුණුව සමග මිනිසාගේ මොළයේ හැකියාව ටිකෙන් ටික මොට වෙමින් පවතින බවට ඕනෑ තරම් උදාහරණ මගින් පෙන්වා දිය හැක.ඉතාම සරල ගණිතකර්මයක්  වුවද විසදීමට අද ගණක යන්ත්‍රයක් අවශ්‍යම වී ඇත.නැතහොත් අපේ මොළයේ හැකියාවන් අද තාක්ශණයට බාරදී ඇත.කරුණු මතක තබාගැනීමට මොළය භාවිතාකිරීම ,විශේෂ සිදුවීම් මතකතබාගැනීම වෙනුවට රිමයින්ඩස් (Reminders),ඇලරට් (Alert) භාවිතය විලාසිතාවක් බවට අද පත්ව ඇත.

මහාචාර්ය Susan Greenfield පවසන ආකාරයට තාක්ශණය මිනිසා හා මිනිසාගේ මොළය වෙනස් කිරීමට සමත්ව ඇති බවද මේ නිසා මිනිසා තම පෞද්ගලික අනන්‍යතාවය,තමා කවුරුන්ද යන වග,තමා කරන කියන දෑ මෙන්ම ප්‍රතිචාර දැක්වීම යනාදී කරුණු කාරණා අවබෝධ කරගැනීමට පවා අපොහොසත් වීම නිසා බලාපොරොත්තු නොවූ අර්බුධයකට මුහුණ දී ඇති බව පෙන්වා දෙයි.

සමාජ විද්‍යාඥ William Ogburn 1934 දී ප්‍රකාශ කොට ඇති පරිදි යන්ත්‍ර සමග ජීවත්වන මිනිසුන් තම සමාජ,පාරිසරික,සන්ස්කෘතික සබදතා වලින් වෙන්වී යන නැඹුරුතාවයක් දක්වන බවයි.මෙය සෘජුවම තාක්ශණය නිසා මොළය තුල සිදුවී ඇති වෙනස්කම් නිසා ඇති වී ඇති මානසික තත්වයක් බව දැක්විය හැක.
2008 වර්ෂයේදී Scotland's Dundee Unuvercity විසින් කරණලද පර්යේෂණයකට අනුව සුදු,කලු වර්ණ සහිත රූපවහිනී තිර නරඹන පුද්ගලයින් සිහින දකින්නේද එම වර්ණම මූලික කොටගෙන බවය.මෙය තාක්ශණය විසින් මොළයේ ඇතිකරන ලද ස්වභාවයකි.

මිනිසාගේ ස්නායු ක්‍රියාකරීත්වය සම්බන්ධව පර්යේෂණ කරනු ලබන විද්වතුන් ප්‍රකාශකරන පරිදි Laptop,Tablet,Smartphone වලින් නිකුත්වන ආලෝකය මිනිසාගේ නිදි චක්‍රය වෙනස් කිරීමට බලපාන බවද එයට හේතුව රාත්‍රියේදී පවා ඩිජිටල් උපකරණ භාවිතාකරන කෙනෙකුගේ මොළය විසින් රාත්‍රීකාලය ලෙස නොව එය දිවාකාලය ලෙස වැරදි  ලෙස හදුනාගැනීම නිසා නිදි චක්‍රය අක්‍රමවත් වී නින්ද නොයෑමේ රෝග වලට මිනිසුන් මුහුණ දී ඇති බවද පෙන්වා දී ඇත.

Halo,Call of Duty වැනි  Shooter ඩිජිටල් ක්‍රීඩා නිසා මිනිසාට තීරණගැනීම් හා දැකීමේ හැකියාවන් වැඩි දියුණු වන බව 2013 වර්ෂයේදී සොයාගන්නා ලදී.එමෙන්ම මෙම ක්‍රීඩා වල නිරත ක්‍රීඩකයන් නොරිස්සුම් ගති ඇති ආක්‍රමණශීලී හැසිරීම් රටා සාමාන්‍ය ජීවිතයේදීද පෙන්වනබව සොයාගෙන ඇත.

තාක්ෂණයේ වේගවත් ප්‍රගමණය නිසා මිනිස් මොළයේ දියුණුව මෙන්ම පරිහානියද සිදුවනබව ඉහත කරුණු අධ්‍යයනය කිරීමෙන් අප කාටත් වැටහෙන සත්‍යයකි.තාකෂණය වුවද සීමාවට වඩා ජීවිතයට එකතුකර ගැනීම මොළයේ හිතකර වෙනසක් ඇතිකිරීමට හේතුපාදක වනවාට වඩා අහිතකර වන බව අප කවුරුත් හොදින් සිහියේ තබාගත යුතුය.ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත යන කියමනේ සත්‍ය මේ සෑම කරුණකින්ම ඉස්මතුවන බව කිව යුතුමය.

සටහන:- තිස්ස නවරත්න විසිනි

Wednesday, May 25, 2016

තොරතුරු තාක්ශණය පරිසර හිතකාමී කිරීම


පරිසරය මිනිසාට නොනැසී පැවතීමට කෙතරම් දායක වන්නේද යන්න පැවසීමට අටුවා අටීකා අවැසි නැත.මැක්සිම් ගෝර්කි පවසන පරිදි "මවගේ කිරි වලින් හා හිරුගේ කිරණින් මෙලොව නිර්මාණය වී ඇත" යන ප්‍රකාශය ඊට කදිම නිදසුනකි.

තොරතුරු තාක්ශණයේ වේගවත් දියුණුව සමග පරිසරයේ තිරසාර පැවත්මට දැන් කණකොකා හඩා ඇත.ඒ මන්ද යත් පාරිසරික උෂ්ණත්වය ඉහලයාම,ස්වාභාවික විපත් තීව්‍රර වීම,ස්වාභාවික චක්‍ර විකෘති වීම වැනි අහිතකර විපත් වලට හුදු මහත් ලෝ වැසියන්ට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවීමයි.මේ සදහා විවිධ හේතු බලපෑවද තාක්ශණය අහිතකර ලෙස භාවිතා කිරීම සෘජුවම බලපා ඇති බව පිළිගත යුතු සත්‍යයකි.එංගලන්තය පාදක කොටගත් ග්ලෝබල් ඇක්ශන් ප්ලෑන්(Global Action Plan)නැමති ආයතනය පවසන පරිදි තොරතුරු තාක්ශණය 2% පමණ බලශක්තියක් භාවිතා කරන බව පෙන්වා දී ඇත.

පරිසර හිතකාමී තොරතුරු තාක්ශණය (Green IT) නමින් කරළියට ඒමත් සමගම දැන් දැන් ලොව ප්‍රකට තොරතුරු හා සන්නිවේදන සමාගම් 15 ක් තම නිපැයුම් පරිසර හිතකාමී වන ලෙස නිර්මාණයට උනන්දු වී සිටීම සැබැවින්ම සතුටුදායකය.HP,Blackberry,Apple වැනි සමාගම් තම නිපැයුම් සදහා පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වැඩි වශයෙන් යොදාගැනීමටත් ඒ හරහා පරිසරයට නිකුත්වන තාපය,බැරලෝහ,විකිරණශීලී ද්‍රව්‍ය අවම කිරීමටත් ප්‍රමාණවත් තරම් උත්සාහයක් ගන්නා බවද නව පර්යේෂණ නිරන්තරයෙන් සිදුකරන බවටද සාක්ෂි ඕනෑ තරම් පෙන්වා දිය හැක.නමුත් එමකාර්යය 100% සාර්ථක වීමට නම් තව බොහෝ වෙහෙසිය යුතුව ඇත.

ක්ලවුඩ් පරිගණක තාක්ශණය (Cloud Computing) හරහා ශක්තිය ඉතිරිකිරීම,වීඩියෝ කොන්ෆරනස් (Video conference) වැනි ක්‍රියාදාමයන් සීමා කිරීම,යල් පැනගිය පරිගණක භාවිතයෙන් ඉවත්කිරීම,ශක්තිය පිරිමසන ලැප්ටොප් පරිගණක භාවිතය වැඩි කිරීම CRT වැනි යල්පැනගිය පරිගණක තිර ඉවත්කොට ඒ සදහා නවීන LCD,LED තිර හදුන්වාදීම හා විද්‍යුත් උපකරණ වල ආයු කාලය වැඩි කිරීම,පහසුවෙන් ප්‍රතිචක්‍රීය කලහැකි ලෙස විද්‍යුත් උපකරණ නිපදවීම වැනි උපක්‍රම මේ වන විටද කරළියට පැමිණ හමාරය.

Irish ආයතනයක් වන Micro Pro විසින් "iameco" නමින් දැවයෙන් නිමකරන ලද ආවරණයක් සහිත පරිගණකයක් නිපදවා තිබේ.මෙය සාම්ප්‍රදායික පරිගණක වලට වඩා70% කටත් අඩු බලයකින් ක්‍රියාත්මක වන අතර 98% පමණ එම පරිගණක ප්‍රතිචක්‍රීයකරණය කල හැකි බව නිෂ්පාදකයින් පෙන්වා දී ඇත.ලෝ ප්‍රකට Apple සමාගම Apple Mac Book පරිගණකය නිපදවීමෙන් ඔවුන්ද පරිසර හිතකාමී තාක්ශණයකට ලැදි බව පෙන්වා දී ඇත.

පරිසර හිතකාමී තොරතුරු තාක්ශණය එලෙසම භාවිතා කිරීම,විනාශ කිරීම,නිර්මාණය හා නිපදවීම යන ක්‍රියාවලීන් හරහා ලගාකර ගතහැකි බව විද්වතුන් විසින් පෙන්වා දී ඇත.ඒ අනුව යමින් පරිසර හිතකාමී ලෙස තොරතුරු තාක්ශණය දියුණුකිරීම සැබැවින්ම මිනිසාගේ ස්ථිරසාර පැවැත්ම තහවුරු කරන හුදු පරාර්ථකාමී ක්‍රියාවලියක්ම නොවන්නේද?

Monday, May 23, 2016

සෙල්ෆි ගැනීම රෝගයක්ද?


නෙත පින්නවන දසුනක් දුටුවිට එය කැමරාගත කර ගැනීම අප පුරුදු වී සිටින්නෙමු.නිතර කැමරාවක් අත නොමතිවීම රූප රාමු ගැනීමට අද බාධාවක් නොවන්නේ ස්මාර්ට් ජන්ගම දුරකතනයෙන් එම කාරිය මනාව ඉටුකොට ගත හැකි බැවිනි.තම දෛනික කටයුතුවලදී පවා රූප ගැනීම අද විලාසිතාවක් බවට පත්ව ඇත.

සීමාව ඉක්මවා සෙල්ෆි ගැනීම මානසික සමබරතාවයට ගැටලුවක් ඇතිකරන බව විද්වතුන් සිදුකල පරීක්ෂණ වල ප්‍රතිඵල දෙස බැලූවිට දැන් පෙනීගොස් ඇත.සෙල්ෆි ගැනීම සමහර පුද්ගලයන්ගේ හුදු විනෝදාංශයක් බවට අද පත්ව අත්තාක් සේම එය විලාසිතාවක් බවටද පත්ව ඇත.කරුනු කෙසේ වුවද තම ජීවිත අනතුරු ගැනද නොසලකා සෙල්ෆි ගැනීම අද උන්මාදයක් බවට පත්ව ඇත.සමාජීය ගැටලු රැසකටද අත වැනීමට මෙම සෙල්ෆි කලාව දායක වී ඇත.

සෙල්ෆි නිසාම වැළදෙන "සෙල්ෆයිටිස්" ලෙසින් හැදින්වෙන මානසික රෝගයක් ගැන APA(American Psychsrtic Association) නොබෝදා අනාවරණය කරගෙන ඇත.සෙල්ෆි කලාව හිණිපෙත්තේම වැජඹුනු අවධියේ APA මගින් මෙය මානසික රෝගයක් බවට පත්විය හැකි බැව් අනතුරු හැගවුවද එය ගණනකට නොගැනීම නිසා සෙල්ෆයිටිස් නම් වූ මානසික රෝගය දක්වා එය ඔඩුදිවීමට හේතුපාදක වී ඇත.

මෙය කොතරම් දරුණු තත්වයකට පත්වී ඇතිද යන්න පවසනවානම් සෑම පුද්ගලයින් 12 දෙනෙකුටම 1 අයෙක් සෙල්ෆයිටිස් රෝගයෙන් පෙළෙනබව සොයාගෙන ඇත.මෙහි අවධි 3 ක් ඇති බවද පළමු හා දෙවන අවධියේ පසුවන්නන් සුව කිරීමට පහසු වුවත් තෙවන අවධිය ගැන විශ්වාස තැබිය නොහැකි බව APA හි විද්වතුන්ගේ මතයයි.

අසාමාන්‍ය ලෙස නොනවත්වා සෙල්ෆි ගැනීමට යම් කිසි කෙනෙකු නිරන්තරයෙන් යොමුවේනම් සහ එම සෙල්ෆි සමාජ ජාල ගත කරනවානම් එවන් අය ගැන විශ්ෂ සැලකිල්ලක් දක්වන ලෙස APA අනතුරු හගවයි.තාක්ශණය දියුණු මෙවන් ලෝකයක විවිධ විකාරරූපී ක්‍රියාවලීන් ඉදිරියටත් වැඩි වැඩියෙන් සිදුවිය හැකි සේම මිනිසුන්ගේ මානසික සමබරතාවය රැකගැනීමට නම් සිහිකල්පනාවෙන් එම තාක්ශණය බුක්තිවිදිය යුතු බවද කිවමනාය.නැතහොත් මෙලොව සෑම පුද්ගලයෙක්ම තාක්ශණය සීමාව ඉක්මවා භාවිතාකිරීම නිසා විවිධ රෝගපීඩා වලට පත්වීම වැළැක්විය නොහැකි බව දැන් පසක් වී හමාරය.

සටහන:- තිස්ස නවරත්න විසිනි

Tuesday, May 17, 2016

ගූගලීකරණය වූ නූතන මිනිසා

 

මිනිසා යනු හොද මතක ශක්තියක් ඇති බුද්ධිමත්ම සත්ව කොට්ඨාශයකි.අනෙකුත් ජීවීන්ට වඩා බොහෝ සෙයින් කරුණු මතක තබා ගැනීමට මිනිසාට හැකියාවක් ඇත.එපමණක්ද නොව කරුණු විශ්ලේෂණය කිරීම,වඩාත් සුදුසු කරුණු තෝරා බේරා වෙන්කර ගැනීමටද මිනිසාට මනා හැකියාවක් ඇත.විද්වතුන් පවසන පරිදි මිනිසාගේ මොළයේ මතක ධාරිතාව 3TB තරම් වේ.

තාක්ශණයේ විප්ලවීය වෙනස්කම් රාශියක් මේ වන විටත් සිදු වී හමාරය.පරිගණක තාක්ශණය ඒ අතරින් ඉදිරියෙන්ම සිටී.කාලයාගේ ඇවෑමෙන් මිනිසා අද තම ජීවිතයේ බොහෝ කටයුතු පරිගණකය ලවා ඉටුකර ගැනීමට හුරු වී සිටී.මේ අතරින් කරුණු සෙවීමට හා මතක තබාගැනීමට මැළිකමක් දක්වන බව නොරහසකි.මොළය වෙහෙසවමින් කරුණු කාරණා පරිගණකය ලවා ඉටුකර ගැනීමට වැඩි වැඩියෙන් පෙලඹී ඇත.

මේ හේතුව නිසා අද ඉතා කුඩා ගණනය කිරීමකට වුවද ගණක යන්ත්‍ර භාවිතයට හුරුවී සිටී.මේ නිසා මනෝමය හැකියාව සෑහෙන දුරකට මොට වී ඇති බව පිළිගත යුතු සත්‍යයකි.කරුණු සෙවීමට පොත පත පරිශීලනය කරනවාට වඩා ගූගල් වල පිහිට පැතීම සැබැවින්ම පහසුවකි.ගූගල් නිරන්තරයෙන් එම කාර්‍ය‍ය සදහා සැදී පැහැදී සිටී.මේ නිසාම ගූගල් වැනි සෙවුම් යන්ත්‍ර අද මිනිසාගේ පරම මිතුරෙකු වී හමාරය.

දිනපතා බිලියන ගණනක් මිනිසුන් ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා ඉතා විශාල ලෙස තොරතුරු සෙවීමට පෙලඹී ඇත්තේ එය Yahoo,Lycos,Bing,Altavista වැනි අනෙකුත් සෙවුම් යන්ත්‍ර වලට වඩා වේගයෙන් එකවර බිලියන 6 ක පමණ තොරතුරු සොයා දෙන බැවිනි.2013 දී හදුන්වාදුන් හමින්බර්ඩ්(Hummingbird) ඇල්ගොරිදමය නිසා ගූගල් වල වේගය සැලකිය යුතු තරමකින් ඉහල ගොස් ඇති බව විද්වතුන්ගේ මතයයි.

කරුනු එසේ වුවද ගූගල් සෙවුම් යන්ත්‍රයට ඇත්තේ දැනට අන්තර්ජාලයේ ඇති තොරතුරු සොයාදීමේ හැකියාව පමණි.නව දැනුම,තොරතුරු නිර්මාණය කිරීමට ගූගල්හට හැකියාව නොමැත.ඒ අතින් බැලූවිට මිනිස් මොළය තවමත් ඉදිරියෙන් ඇත්තේ මිනිස් මොළයට තොරතුරු අලුතින් නිර්මාණය කල හැකි බැවිනි.එය මිනිස් මොළයට ලැබී ඇති සුවිශේෂී හැකියාවකි.

ගූගලීකරණය 2003 දී John Battelle සහ Alex Salkever විසින් හදුන්වා දෙන ලද සංකල්පයකි.ගූගල් නිර්මාණය වූ මුල් කාලවලදී එම සේවාවට හැකිවූයේ අක්ශර මූලික කොටගත් තොරතුරු සෙවීමට පමණකි.නමුත් වර්තමානයේ එය රූප,වීඩියෝ,ඩිජිටල් පොත්,ප්‍රවෘත්ති යනාදී වශයෙන් සොයා දීමට හැකිවන ලෙස සකසා ඇත.එමෙන්ම එහි සේවාවන්ද පුලුල් කොට අති බව අප කාටත් දැකගත හැකිව ඇත.

Desktop,Laptop,Notebook,Tablet,Smart Phone හරහාද දැන් මෙම සේවාව අත්විදිය හැකිවීම එක් අතකින් පහසුවක් ලෙස පෙනුනද තොරතුරු මතකතබා ගැනීමට එය ඍජු බාධාවක් ලෙස දැක්විය හැක්කේ ඒ සදහා මොළය වෙහෙසවීම අවශ්‍ය නොවන හෙයිනි.තමන්ට යමක් දැනගැනීමට අවශ්‍යනම් ගූගල් ඒ සදහා සැදී පැහැදී සිටීම අපට මහා අස්වැසිල්ලක් සේ දැනුනද බුද්ධිමත්ව සිතා බැලුවහොත් ගූගල් අපේ මොළයේ මතක තබා ගැනීමේ හැකියාව,විශ්ලේෂණ හා ආවර්ජන හැකියාව මොට කරන තවත් එක් තාක්ශණික ප්‍රයෝගයක් නොවන්නේද?

සටහන:- තිස්ස නවරත්න විසිනි

2026 A/L ICT Classes