Monday, June 21, 2021

අංකිත අලෙවිකරණය(Digital Marketing)

 අංකිත අලෙවිකරණය(Digital Marketing)


අන්තර්ජාල,වෙබ් අඩවි,සමාජ මාධ්‍යය හා වෙනත් අංකිත මාධ්‍යය වල භාවිතය ඉතා සීග්‍රයෙන් ඉහල යන යුගයක අප ජීවත්වෙමින් සිටින්නෙමු.ව්‍යාපාර ලෝකයේ මෙම යුගයට ගැලපෙන පරිදි නව්‍යකරණය වෙමින් ඉදිරියට ගලායයි.

1990 දී අංකිත අලෙවිකරණ සංකල්පය බිහිවිය. අන්තර්ජාල අලෙවිකරණය,වෙබ් අලෙවිකරණය ආදී නම් වලින් හැඳින්වුණු අංකිත අලෙවිකරණය වර්තමානයේ ප්‍රබලම අලෙවිකරණ මාධ්‍ය වී හමාරය.

සාම්ප්‍රදායික අලෙවිකරණයේ පමණක් වර්තමාන හා අනාගත ලෝකයට ගැලපෙන පරිදි භාණ්ඩ හෝ සේවා විකිණිය නොහැකි තත්වයකට පත්ව ඇත.ඊට හේතු ලෙස,මිනිසුන් අතීතයට වඩා කාර්ය බහුල වීම,අවශ්‍යතා බහුල වීම,විද්‍යුතමය අංකිත උපකරණ(පරිගණක,ජංගම දුරකථන)යනාදියේ වැඩිපුර කාලය ගතකිරීම,ව්‍යාපාරික ලෝකය පෙරට වඩා තරගකාරී වීම,පාරිභෝගිකයන් තාක්ෂණික ක්‍රම වලට වැඩි කැමැත්තක් දැක්වීම,වඩා ඉක්මනින් ගනුදෙනු කිරීමට පෙළඹීම යනාදිය දැක්විය හැක.

ඉහත හේතුසාධක නිසා අන්තර්ජාලය මත පදනම්වූ අලෙවිකරණ උපක්‍රම අනුගමනය කිරීමට භාණ්ඩ හා සේවා සපයන ආයතන නැඹුරුතාවයක් දක්වයි.අංකිත අලෙවිකරණය සදහා අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර(Search engines),සමාජ මාධ්‍ය(Social media),විද්‍යුත් තැපෑල(Email),බ්ලොග් අඩවි හරහා තම පාරිභෝගිකයන් වෙත භාණ්ඩ හා සේවා අලෙවිකරනු ලබයි.මේ හරහා පාරිභෝගිකයන්ට සේවාවන් ලබාගැනීමට බහුමාධ්‍ය තාක්ෂණයන් උදව් කරගනී.ඒ හරහා වඩා ආකර්ෂණීය ලෙස සිත් ඇදගන්නා ලෙස අලෙවිකරණ ක්‍රියාවලිය අන්තර්ජාලය හරහා සිදුකරනු ලබයි.අංකිත අලෙවිකරණයේදී ව්‍යාපාරික ආයතන පහත සදහන් තාක්ෂණික ක්‍රම යොදාගනු ලබයි.

සෙවුම්යන්ත්‍ර ප්‍රශස්ථකරණය (Search Engine Optimization-SEO)-මෙම තාක්ෂණය හරහා ව්‍යාපාරික වෙබ් අඩවි වෙත තදබදයක්(Traffic) ඇතිකිරීම තුලින් අදාල වෙබ්අඩවියට වැඩි ගණුදෙනුකරුවන් ප්‍රමාණයකට පිවිසීමට අවස්ථාව ලබා දේ. මුදල් නොගෙවා වෙබ්අඩවි වලට පිවිසීමේදී තදබදයක් ඇතිකිරීම මෙම තාක්ෂණයේ අරමුණ වේ.මේ සදහා රූප ,වීඩියෝ,අධ්‍යාපන,ප්‍රවෘත්ති සෙවීම,කර්මාන්ත විශේෂිත සෙවුම් යන්ත්‍ර (Industry Specific vertical search)යනාදිය දැක්විය හැක.

සමාජ මාධ්‍ය අලෙවිකරණය(Social media marketing)- මෙම ක්‍රමය හරහා ප්‍රකට සමාජ මාධ්‍යය වලට ව්‍යාපාරික ආයතන ප්‍රචාරක දැන්වීම් ඇතුලත් කිරීම හරහා තම භාණ්ඩ හෝ සේවා පාරිභෝගිකයන් වෙත ප්‍රචාරණය කරනු ලබයි.මෙහිදී පාරිභෝගිකයන්ට එම දැන්වීම් හුවමාරු කිරීමට,අදහස් දැක්වීමට,ගුණදොස් විවේචනයට අවස්ථාව ලැබේ.මෙම උපක්‍රමය Earned media” ලෙස හැඳින්වේ.සමාජ මාධ්‍යය වෙබ් අඩවි තුල නිර්මාණය කොට ඇති දත්ත විශ්ලේෂණ මෙවලම්(Data analytics tools) හරහා තම ආයතනයේ දැන්වීම් වල සාර්ථකවය පිළිබඳව විමසා බැලියහැකි වීම සමාජ මාධ්‍ය අලෙවිකරණය ආයතන වල ප්‍රචලිත වීමට හේතුවකි.

වීඩියෝ අලෙවිකරණය (Video marketing) - ආයතනයක් මගින් ලබාදෙන භාණ්ඩයට හෝ සේවාවට අදාලව නිර්මාණය කරන ලද ආකර්ෂණීය වීඩියෝ පට අන්තර්ජාලයේ ව්ව්ධ වෙබ් අඩවි තුලට උඩුගතකිරීම(Upload)හරහා පාරිභෝගිකයන් තුල රුචිකත්වක් ඇතිකිරීම තුලින් අලෙවිකරණය සිදුකරයි. වර්තමානයේ මෙම අලෙවිකරණ උපක්‍රමය වඩා සාර්ථක වී ඇත.

විද්‍යුත් තැපැල් අලෙවිකරණය (Email marketing)- විද්‍යුත් තැපැල් පණිවිඩයක් යැවීම හරහා භාණ්ඩ හෝ සේවාවන් අලෙවි කිරීම මෙහිදී සිදුවේ. මේ හරහා යම්කිසි භාණ්ඩයක් හො සේවාවකට අදාල දැන්වීම,වීඩියෝ පට ආදිය ඉලක්ක කරගත් පාරිභෝගික කණ්ඩායම් වෙත විද්‍යුත් තැපැල් පණිවිඩයක් ලෙස යැවීමට සැලැස්වීම හරහා එම පාරිභෝගිකයන්ගේ විශ්වාසය,පක්ෂපාතීත්වය ඇති කිරීම හරහා ආයතන තම අලෙවිකරණ ක්‍රියාවලි සාර්ථක කරගනී.

බ්ලොග් අඩවි අලෙවිකරණය (Blog marketing)- ව්‍යාපාරික ආයතනයක් විසින් නිර්මාණය කරනු ලබන බ්ලොග් අඩවි තුලට භාණ්ඩ හෝ සේවා පිළිබඳව ප්‍රදර්ශක(Post), විස්තර, ගුණදොස්, අතුලත්කිරීම හරහා ඒ පිළිබඳව පාරිභෝගිකයා තුල විශවාසයක් ඇතිකොට අලෙවිකරණයේ යෙදීම මෙහිදී සිදුවේ.

අංකිත අලෙවිකරණයේදී ආයතන විසින් අලෙවිකරණය යම්කිසි සැලැස්මකට අනුව සිදුකරනු ලබයි.මේ සදහා පහත උපක්‍රම හා ක්‍රමවේදයන් අනුගමනය කරයි.

පුරෝකථන විශ්ලේෂණය- මේ සදහා “Data mining"ලෙස හැදින්වෙන මෙවලම් භාවිතා කොට යල්පැනගිය දත්ත විශ්ලේෂණය කොට අනාගත පාරිභෝගික අවශ්‍යතා හෝ හැසිරීම් රටා විශ්ලේෂණය කොට පුරෝකථන ඉදිරිපත් කරයි.

පාරිභෝගික පෞද්ගලිකත්වය (Consumer privacy)- පරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය හා ඔවුන්ගේ හැසිරීම් රටා, භාණ්ඩ හෝ සේවා පිළිබද රුචිකත්වය යනාදිය නිරීක්ෂණය කිරීමෙන් ඒ ඒ පාරිභෝගිකයාගේ ව්ශේෂිත අවශ්‍යතා හඳුනාගැනීම.

අලෙවිකරණ උපක්‍රම (Marketing Strategies)- අලෙවිකරණ උපක්‍රම අංකිත අලෙවිකරණයේදී ඉතා වැදගත් සාධකයකි. එයට හේතුව පාරිභෝගිකයා ඍජුවම මුණ නොගැසෙන බැවිනි.මේ සදහා භාවිතා කරන අලෙවිකරණ උපක්‍රම කිහිපයක් ලෙස,ආකර්ෂණීය වෙබ් අඩවි නිර්මාණය,SEO,අනුබද්ධිත වැඩසටහන් භාවිතය,විද්‍යුත් තැපෑල භාවිතය,බ්ලොග් අඩවි පවත්වාගෙන යාම,සමාජ මාධ්‍ය,වෙබ් පෝරම භාවිතය,Google+, Twitter වැනි සේවාවන් භාවිතය දැක්විය හැක.”Zenmedia” වෙබ් අඩවියතුල මෙවැනි අංකිත අලෙවිකරණ උපක්‍රම 51 දක්වා ඇත.

අංකිත අලෙවිකරණයේදී ව්‍යාපාරික ආයතන විසින් විද්‍යුත් තැපැල් අලෙවිකරණ උපක්‍රමය හරහා භාවිතා කරන ආයචිත තැපැල් ක්‍රමය(Spam) නිසා පාරිභෝගිකයන් අපහසුතාවට පත්වේ.ආයචිත තැපැල් නිසා විනාශකාරී වැඩසටහන් හෝ කේත (Malicious Programs or code)පාරිභෝගිකයින්ගේ පරිගණක වෙත ස්වයංක්‍රීයව ස්ථාපනය වේ.කෙසේ වෙතත් මෙවැනි විනාශකාරී තාක්ෂණික ක්‍රියාවන් අංකිත අලෙවිකරණයට බාධා පමුණුවයි.

No comments: