Monday, June 21, 2021

අතත්‍ය සමාජය(Virtual Community)

 අතත්‍ය සමාජය(Virtual Community)


1993 දී Howard Rheingold” විසින් රචිත The virtual community” නම් වූ ග්‍රන්ථය හරහා අතත්‍ය සමාජය (Virtual Community) සංකල්පය ලොව පුරා කථාබහට ලක්විය. මිනිසුන් ඔවුනොවුන් අතර සන්නිවේදනය හස්තමූලිකව සිදුකිරීම සාමාන්‍ය ක්‍රමය වුවද අතත්‍ය සමාජය තුල එම සන්නිවේදනය විවිධාකාර වූ තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ සිදුවේ.

තාක්ෂණය දියුණුවීමත් සමගම මිනිසා අන්තර්ජාල,වෙබ් අඩවි ,දුරකථන සන්නිවේදන ක්‍රම භාවිතා කොට පුද්ගල සබඳතා ගොඩනගාගත් අතර එම සබඳතා හුදෙක්ම භෞතික සබඳතා නොවේ.අන්තර්ජාලය මූලික කොටගෙන මිනිසුන් අතර මෙසේ ගොඩනැගුණු සබඳතාවයන් වලින් පිරුණු සමාජය “අතත්‍ය සමාජය” ලෙස අර්ථ දැක්විය හැක.

අතත්‍ය සමාජයක ප්‍රජාව තම රුචිකත්වයන්,විනෝදාංශයන්,පෞද්ගලික අදහස් හා ආකල්ප ,පළපුරුද්ද යනාදිය සමාජ ජාල හරහා සන්නිවේදනය කරගනී.මෙහිදී එකිනෙකා අතර සම්බන්ධතා තාක්ෂණය මත පදනම්වී ඇත.අප මතක තබාගත යුතු වැදගත් කරුණක් නම් අතත්‍ය සමාජය අන්තර්ජාලය මතම පදනම්වූවක් නොවන බවයි.අතත්‍ය සමාජයක් දුරකථන සබඳතා මෙන්ම විද්‍යුත් තැපැල් හරහාද ගොඩනැඟී ඇත.

අන්තර්ජාලය පාදක කොටගෙන අතත්‍ය සමාජයක සාමාජිකයන් එකිනෙකා අතර සන්නිවේදනය කරනු ලබන ක්‍රම කිහිපයක් දැක්විය හැක.

සමාජජාල (Social Networks)- වර්තමායේ අතත්‍ය සමාජ බිහිවීමෙහි තෝතැන්නකි. Facebook, Pinterest, Instegram, Youtube, Twitter, Linkedin, Tumblr, Flicker, Reddit, Snapchat, Whatsapp, Quora, Google+, Yahoo groups උදාහරණ ලෙස දැක්විය හැක මෙම සමාජ ජාල භාවිතය බහුලවම ජංගම දුරකථන හා සුහුරු දුරකථන හරහා සිදුවන අතර, සමහර ආයතන රාජකාරි කාලය තුල මෙවැනි සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කොට ඇත. එයට හේතුව සේවකයින් සැලකිය යුතු වේලාවක් සමාජ ජාල තුල සැරිසැරීමයි.

චැට් රූම්ස් (Chat Rooms) - යතුරුලියනය කිරීම හරහා මිනිසුන් එකිනෙකා අතර සන්නිවේදනය කරනු ලබන අතත්‍ය ස්ථානයකි. Internet Relay Chat –IRC” මෘදුකාංග භාවිතයෙන් අන්තර්ජාලය හරහා සම්බන්ධ වී සන්නිවේදනය කරනු ලබයි. mIRC chat” මෘදුකාංගය මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මතද XChat” ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මතද, ”Chatzilla” ෆයර්ෆොක්ස් වෙබ් අතරික්සුව(Web browser) මතද ක්‍රියාත්මක වන IRC මෘදුකාංග වේ.මීට අමතතරව MSN, Yahoo, Google Talk, AIM, ICQ සහ LCS, Sametime යන සේවාවන් ජංගම දුරකථන සදහා නිර්මාණය කොට ඇත.

ක්ෂණික පණිවිඩ සේවා (Instant Messaging Services-IM) - අතත්‍යය සමාජය තුල ක්ෂණිකව අදහස් හුවමාරු කරගැනීම සදහා මෙම සේවාව භාවිතා කරනු ලබයි. යතුරුලියනය කිරීම හරහා ක්ෂණිකව පුද්ගලයන් අතර සන්නිවේදනය සිදුකරයි.Whatsapp, Imo, Viber, eBuddy, Telegram, FB messanger, Jami, Kik, Line, Movim, PSI, Paltalk, Signal, Slack, Wechat.

සංවාද මණ්ඩප(Forums) - අන්තර්ජාල පෝරම හෝ “Message board” යනු, මාර්ගගතව සංවාද පැවැත්විය හැකි, පණිවිඩ යැවිය හැකි වෙබ් අඩවි වේ. මේවා චැට් රූම්ස් වලින් වෙනස් වන්නේ සංවාද,පණිවිඩ බොහෝ කාලයක් සංවාද මණ්ඩප තුල පැවතීමයි.Stack overflow,4Chan,Something Awful, Gaia online, Newgrounds, Nairaland, Ubuntu forums උදාහරණ ලෙස දැක්විය හැක.

විකි(Wiki)- 1995දී Ward Cunningham” විසින් “විකිපීඩියානිර්මාණය කරන ලදී. විවිධාකාර මාතෘකා ඔස්සේ නිර්මාණය කරන ලද විකිපීඩියා පිටු මේ වන විට53,583,134 ක් පමණ ඇත.මෙම විකිපීඩියාහි පිටු අතත්‍ය ප්‍රජාවගේ සහභාගීත්වයෙන් අලුතින් නිර්මාණය කිරීම,වෙනස්කිරීම,ප්‍රතිපෝෂණය කිරීම යනාදිය සිදුකල හැක.

විද්‍යුත් තැපෑල (Electronic Mail-Emai) - විද්‍යුත් තැපැල් මගින් පුද්ගල, ආයතන, සමාජ යනාදී සමාජ කණ්ඩායම් අතර ක්ෂණිකව පණිවිඩ යැවීමට යොදාගනී. පණිවිඩ පමණක් නොව 25MB වලට අඩු ඇමුණුම්(වීඩියෝ,පින්තූ,ලිපිගොනු) යනාදිය හුවමාරු කළ හැක.බොහෝ ආයතනවල ප්‍රධාන සන්නිවේදන තාක්ෂණය ලෙස විද්‍යුත් ලිපි යැවීම භාවිතා කෙරේ.විද්‍යුත් ලිපිනයක් අන්තර්ජාලය තුලදී පුද්ගල අන්‍යතාවය සනාථ කිරීමට භාවිතා කළ හැක.Gmail, Yahoo, Microsoft Outlook, Apple mail, Hiri, Spark, Claws mail, Airmail, Opera Mai දැක්විය හැක.

අතත්‍ය සමාජය තුලදී පුද්ගල අකටයුතුකම්,හිරිහැර,කීර්තිනාමයට කැලැල් ඇතිවීම යනාදියද සිදුවේ.පුද්ගල අනන්‍යතාවයට හානිවන අන්තර්ගතයන් අතත්‍ය සමාජය තුල පැතිරවීම,මනංකල්පිත ගිණුම් වලින් පුද්ගලයන් පෙනී සිටිමින් අනෙක් අයවලුන් රැවටීම,දත්ත සොරා ගැනීම,ගිණුම්වලට අනවසර ප්‍රවේශය ,විනාශකාරී වැඩසටහන්(Malware) පැතිරවීම,ගිණුම් වල,වෙබ් පිටුවල,සමාජජාල ගිණුම් වල අන්තර්ගතයන් වෙනස්කිරීම,කප්පම් ඉල්ලීම යනාදිය උදාහරණ ලෙස දැක්විය හැක.මෙනිසා අතත්‍ය සමාජය,අතත්‍ය සමාජයක් ලෙසම සිතා ආරක්ෂකාරීව භාවිතා කිරීම නුවනට හුරුවේ.

No comments: