Friday, June 25, 2021

සයිබර් අපරාධ(Cybercrimes)

 සයිබර් අපරාධ(Cybercrimes)

භෞතික ලෝකය ස්වභාවධර්මයේ නිර්මාණයයක් වුවද සයිබර් අවකාශය මිනිසාගේ නිර්මාණයකි.භෞතික ලෝකයට සීමාමායිම් තිබුනද,සයිබර් අවකාශයට සීමාමායිම් නැත.විද්‍යාවේ මෙන්ම තාක්ෂණයේ දියුණුව සමගම භෞතික ලෝකය කුඩාවී සයිබර් අවකාශය විශාලවූ බවක් පෙනේ.

මෙම සියවස තුල ඩිජිටල් තාක්ෂණයේ නවතම තර්ජනය සයිබර් අපරාධයි.කාන්තාවන්ට හා දරුවන්ට එරෙහිව ඩිජිටල් මාධ්‍ය උපයෝගී කරගෙන විවිධාකාර ස්වරූපයෙන් සයිබර් අපරාධ කරළියට පැමිණ ඇත.

එසේනම් සයිබර් අපරාධ යනු කුමක්ද?සමාජ සබඳතා,ජාලගත වෙබ් අඩවි,විවාද මණ්ඩප,වෙබ් අඩවි,විද්‍යුත් තැපෑල,හමුවීම් අඩවි,චැට් අඩවි යන විවිධාකාර මාර්ග හරහා පරිගණක හා අන්තර්ජාලය මගින් සිදුකරනු ලබන සාපරාධී ක්‍රියාමෙලෙස හැඳින්වේ.සයිබර් අපරාධ සිදුකරන ක්‍රම කිහිපයක් පහත පරිදි දැක්විය හැක.

පරිගණක පද්ධතියකට අනවසරයෙන් ඇතුල්වී එහි අඩංගු දත්ත අනවසර ප්‍රවේශ(Hacking)- සොරාගෙන කඩාකප්පල්කාරී ක්‍රියාවල යෙදීම සයිබර් අපරාධයකි. මෙලෙස සිදුකරන පුද්ගලයින් පරිගණක හා ජාලවල පවතින තාක්ෂණික දෝෂ හදුනාගෙන ඒවා ප්‍රයෝජනයට ගෙන පරිගණක පද්ධති වලට ඇතුල්වීමට උත්සාහ ගනී.

විනාශකාරී වැඩසටහන් සහ කේත. (Malicious Programs and code)- පරිගණක පරිශීලකයන් නොදැනුවත්වම මෙම විනාශකාරී වැඩසටහන් සහ කේත (ට්‍රෝජන්, මැල්වෙයා, ස්පයිවෙයා, වෝම්ස්, රූට්කිට්ස්) පරිගණක වලට ඇතුල්වී දත්ත විනාශකිරීම,සොරාගැනීම,දත්ත විකෘති කිරීම,අනවශ්‍ය කවුළු විවෘත කිරීම,පරිගණකය ක්ෂණිකව ප්‍රතිපණ ගැන්වීම යනාදී ක්‍රියා සිදුකරයි.

පෞද්ගලික අනන්‍යතාවය සොරාගැනීම/වංචාව(Personal Identify thrifts)- වෙනත් පරිගණකයක අඩංගුවූ පෞද්ගලික දත්ත සොරාගැනීම සදහා සයිබර් අපරාධකරුවන් අන්තර්ජාලය යොදාගනී.”ෆිෂිං”, ”ෆාමිංනම්වූ ක්‍රම මේ සදහා යොදාගනී.ෆිෂිං යනු,අපරාධකරුවන් නීත්‍යානුකූල වෙබ් අඩවියකින් එවන්නාක් මෙන් හගවා පරිගණක පරිශීලකයන්ට විද්‍යුත් තැපැල් පණිවිඩ එවා ලබන්නාගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කරන ලෙස ඉල්ලයි.මෙහිදි එම තැපැල් පණිවිඩ විවෘත කරනවාත් සමගම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන විනාශකාරී වැඩසටහන් මගින් පරිශීලකයාගේ දත්ත සොරාගෙන එම වැඩසටහන නිර්මාණය කළ පුද්ගලයා වෙත යොමුකරයි.ෆාමිං යනු,පරිශීලකයාගේ අනුදැනුමකින් තොරව ව්‍යාජ ලෙස සකස්කල වෙබ් අඩවි තුලට යොමුකිරීමයි.

සයිබර් අවකාශය හරහා රහසේ ලුහුබැදීම (Cyber stalking)- “සයිබර් අතවර” ලෙස හැදින්වෙන මෙම ක්‍රමය හරහා, ඉලක්ක කරගත් යමිකිසි පරිශීලකයෙකුට හිංසා කිරීමයි. මෙය ලිංගික හිරිහැරවල සිට කෝපය,එදිරිවාදිකම් ලෙස විවිධාකාර ස්වරූපයෙන් සිදුවේ.සයිබර් අපරාධ වලට කෙනෙකු යොමුවිම ප්‍රධාන හේතුවක් වන්නේ නිරන්තරයෙන් තම පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය වෙත යොමුකිරීමයි.

ආයචිත තැපෑල(SPAM)- ඉල්ලුම නොකරන ලද විද්‍යුත් තැපැල් පණිවිඩ හරහා යමිකිසි භාණ්ඩයක් හෝ සේවාවන් පිළිබඳ විස්තර හෝ මූල්‍යමය ජයග්‍රහණයන් අත්කරගෙන ඇතිබවට එවනලද ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩ හරහා පරිශීලකයා නොමග යවා පෞද්ගලික දත්ත සොරාගැනීමයි. මෙහිදී බැංකු ගිණුම් අංක වැනි පෞද්ගලික දත්ත සොරාගනී.

ළමා අශ්ශීල රචනා (Child Pornography) - ළමයින් පිළිබඳව ලියන ලද අශ්ශීල රචනා අලෙව්කිරීම සදහා අන්තර්ජාලය යොදාගනී. මෙය ළමා ලිංගික සූරාකෑමකි.

සමාජ ජාල(Social Networking),විද්‍යුත් තැපෑල(Email),බ්ලොග්(Blogs),ඩේටිං අඩවි(Dating sites),චැට් අඩවි(Chat sites) යන අන්තර්ජාල සම්බන්ධතා ක්‍රම හරහා පරිශීලකයන් බහුලවම සයිබර් අපරාධ වලට ලක්වන්නේ තම පෞද්ගලික තොරතුරු,අනන්‍යතාවයන් අන් අය වෙත ප්‍රදර්ශණයට යාමෙනි.

සයිබර් අවකාශය හරහා සිදුවන අපරාධ සෙවීම හා නැවැත්වීම ලේසිපහසු කර්තව්‍යයක් නොවන්නේ පුද්ගලයින්ගේ හැසිරීම් රටා ක්ෂණිකව වෙනස්වීම හා විවිධාකාර වූ තාක්ෂණික උපක්‍රම මේ සදහා භාවිතාකිරීම හේතුකොටගෙනය.2018 දී “අන්තර්ජාල අපරාධ පැමිණිලි අංශය- The Internet Crime Complaint Center” වෙත සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 351,937ක් ලැබී ඇති අතර ඒවායින් සිදුවූ මූල්‍යමය හානි ඇමරිකානු ඩොලර් බිලියන 2.7කි.

සයිබර් අපරාධ වැළැක්වීමෙහි ලා පහත සදහන් උපක්‍රම භාවිතා කරයි.

විමර්ශණය(Investigation)- ඇමරිකාවේ “Federal Bureau of Investigation -FBI” සහ “Department of Homeland Security -DHS" යන ආයතන සයිබර් අපරාධ සම්බන්ධයෙන් විමර්ශණය කරනු ලබයි. මෙම ආයතන තම අනන්‍යතාවය සයිබර් අපරාධකරුවන්ගෙන් සැගවීමට ගුප්ත කේතන තාක්ෂණය(Encryption Technology ) යොදාගනී.

නිවාරණය(Prevention)- DHS ආයතනය විසින් නිර්මාණය කරන ලද “Enhanced Cybersecurity Services-ECS” ආයතනය හරහා සයිබර් අපරාධ වැළැක්වීම සදහා සේවාවක් ඇමරිකාව තුල ක්‍රියාත්මක කරයි. උදා:DNS Sink holing.

නීති පැනවීම(Legislation)- සයිබර් අපරාධකරුවන් සදහා නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදුකරයි. නමුත් පිලිපීනය වැනිරටවල මේ සදහා පවතින නීති ප්‍රමාණවත් හෝ බලසම්පන්න නොවේ.සමහර සයිබර් අපරාධ සම්බන්ධයෙන් නීති නොමැතිකමද ගැටලුවකි.දියුණුවෙමින් පවතින සමහර රටවලද මේ සදහා ඉතා ලිහිල් නීති පද්ධතියක් ක්‍රියාත්මක වන අතර ඊට හේතුවක් ලෙස සයිබර් අපරාධ සෙවීම,වැළැක්වීම සදහා ප්‍රමාණවත් දියුණු තාක්ෂණික ක්‍රම නොමැතිවීමද දැක්විය හැක.උදාහරණ ලෙස,European Union Adopted Directive 2013/40/EU.

දඩුවම් පැමිණවීම(Penalties)-සමහර ආයතන හැකර්වරුන්ගේ සේවය “තොරතුරු ආරක්ෂක නිලධාරී-Information Security Officer” තනතුර සදහා යොදාගනී. හේතුව ලෙස දැක්විය හැක්කේ සයිබර් අපරාධ පිළිබඳව ඔවුන් සතු විශාල දැනුම් සම්භාරයයි.නමුත් සයිබර් අපරාධ සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ අයෙකුට ඒ සම්බන්ධව එම රටේ පවතින නීතිවල ප්‍රතිපාදන අනුව දඩයක් හෝ සිරදඬුවම් නියම කල හැක.(නිව්යෝක් අධිකරණයේ මේ සදහා වසර 3 සිට 15ක් දක්වා සිරදඬුවම් නියම වේ)

දැනුවත් බව(Awareness)- සයිබර් අපරාධ හා ඒවායින් වැළැක්වෙන විධි පිළිබඳව ප්‍රජාව දැනුවත් වීම මෙයින් අදහස් කෙරේ. අන්තර්ජාලය භාවිතා කරන ඕනෑම කෙනෙකු සයිබර් අපරාධ වලට ලක්විය හැකි බව දැන සිටීමත් ඒවායින් වැළැක්වෙන ක්‍රම දැනසිටීමත්,නිතර සිහිකල්පනාවෙන් යුතුව අන්තර්ජාලය භාවිතා කිරීමට වගබලාගැනීමෙන් සයිබර් අපරාධ වලින් වැළකීමට ඇති නිවැරදිම මාර්ගයයි.

Monday, June 21, 2021

අතත්‍ය සමාජය(Virtual Community)

 අතත්‍ය සමාජය(Virtual Community)


1993 දී Howard Rheingold” විසින් රචිත The virtual community” නම් වූ ග්‍රන්ථය හරහා අතත්‍ය සමාජය (Virtual Community) සංකල්පය ලොව පුරා කථාබහට ලක්විය. මිනිසුන් ඔවුනොවුන් අතර සන්නිවේදනය හස්තමූලිකව සිදුකිරීම සාමාන්‍ය ක්‍රමය වුවද අතත්‍ය සමාජය තුල එම සන්නිවේදනය විවිධාකාර වූ තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ සිදුවේ.

තාක්ෂණය දියුණුවීමත් සමගම මිනිසා අන්තර්ජාල,වෙබ් අඩවි ,දුරකථන සන්නිවේදන ක්‍රම භාවිතා කොට පුද්ගල සබඳතා ගොඩනගාගත් අතර එම සබඳතා හුදෙක්ම භෞතික සබඳතා නොවේ.අන්තර්ජාලය මූලික කොටගෙන මිනිසුන් අතර මෙසේ ගොඩනැගුණු සබඳතාවයන් වලින් පිරුණු සමාජය “අතත්‍ය සමාජය” ලෙස අර්ථ දැක්විය හැක.

අතත්‍ය සමාජයක ප්‍රජාව තම රුචිකත්වයන්,විනෝදාංශයන්,පෞද්ගලික අදහස් හා ආකල්ප ,පළපුරුද්ද යනාදිය සමාජ ජාල හරහා සන්නිවේදනය කරගනී.මෙහිදී එකිනෙකා අතර සම්බන්ධතා තාක්ෂණය මත පදනම්වී ඇත.අප මතක තබාගත යුතු වැදගත් කරුණක් නම් අතත්‍ය සමාජය අන්තර්ජාලය මතම පදනම්වූවක් නොවන බවයි.අතත්‍ය සමාජයක් දුරකථන සබඳතා මෙන්ම විද්‍යුත් තැපැල් හරහාද ගොඩනැඟී ඇත.

අන්තර්ජාලය පාදක කොටගෙන අතත්‍ය සමාජයක සාමාජිකයන් එකිනෙකා අතර සන්නිවේදනය කරනු ලබන ක්‍රම කිහිපයක් දැක්විය හැක.

සමාජජාල (Social Networks)- වර්තමායේ අතත්‍ය සමාජ බිහිවීමෙහි තෝතැන්නකි. Facebook, Pinterest, Instegram, Youtube, Twitter, Linkedin, Tumblr, Flicker, Reddit, Snapchat, Whatsapp, Quora, Google+, Yahoo groups උදාහරණ ලෙස දැක්විය හැක මෙම සමාජ ජාල භාවිතය බහුලවම ජංගම දුරකථන හා සුහුරු දුරකථන හරහා සිදුවන අතර, සමහර ආයතන රාජකාරි කාලය තුල මෙවැනි සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කොට ඇත. එයට හේතුව සේවකයින් සැලකිය යුතු වේලාවක් සමාජ ජාල තුල සැරිසැරීමයි.

චැට් රූම්ස් (Chat Rooms) - යතුරුලියනය කිරීම හරහා මිනිසුන් එකිනෙකා අතර සන්නිවේදනය කරනු ලබන අතත්‍ය ස්ථානයකි. Internet Relay Chat –IRC” මෘදුකාංග භාවිතයෙන් අන්තර්ජාලය හරහා සම්බන්ධ වී සන්නිවේදනය කරනු ලබයි. mIRC chat” මෘදුකාංගය මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් මතද XChat” ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මතද, ”Chatzilla” ෆයර්ෆොක්ස් වෙබ් අතරික්සුව(Web browser) මතද ක්‍රියාත්මක වන IRC මෘදුකාංග වේ.මීට අමතතරව MSN, Yahoo, Google Talk, AIM, ICQ සහ LCS, Sametime යන සේවාවන් ජංගම දුරකථන සදහා නිර්මාණය කොට ඇත.

ක්ෂණික පණිවිඩ සේවා (Instant Messaging Services-IM) - අතත්‍යය සමාජය තුල ක්ෂණිකව අදහස් හුවමාරු කරගැනීම සදහා මෙම සේවාව භාවිතා කරනු ලබයි. යතුරුලියනය කිරීම හරහා ක්ෂණිකව පුද්ගලයන් අතර සන්නිවේදනය සිදුකරයි.Whatsapp, Imo, Viber, eBuddy, Telegram, FB messanger, Jami, Kik, Line, Movim, PSI, Paltalk, Signal, Slack, Wechat.

සංවාද මණ්ඩප(Forums) - අන්තර්ජාල පෝරම හෝ “Message board” යනු, මාර්ගගතව සංවාද පැවැත්විය හැකි, පණිවිඩ යැවිය හැකි වෙබ් අඩවි වේ. මේවා චැට් රූම්ස් වලින් වෙනස් වන්නේ සංවාද,පණිවිඩ බොහෝ කාලයක් සංවාද මණ්ඩප තුල පැවතීමයි.Stack overflow,4Chan,Something Awful, Gaia online, Newgrounds, Nairaland, Ubuntu forums උදාහරණ ලෙස දැක්විය හැක.

විකි(Wiki)- 1995දී Ward Cunningham” විසින් “විකිපීඩියානිර්මාණය කරන ලදී. විවිධාකාර මාතෘකා ඔස්සේ නිර්මාණය කරන ලද විකිපීඩියා පිටු මේ වන විට53,583,134 ක් පමණ ඇත.මෙම විකිපීඩියාහි පිටු අතත්‍ය ප්‍රජාවගේ සහභාගීත්වයෙන් අලුතින් නිර්මාණය කිරීම,වෙනස්කිරීම,ප්‍රතිපෝෂණය කිරීම යනාදිය සිදුකල හැක.

විද්‍යුත් තැපෑල (Electronic Mail-Emai) - විද්‍යුත් තැපැල් මගින් පුද්ගල, ආයතන, සමාජ යනාදී සමාජ කණ්ඩායම් අතර ක්ෂණිකව පණිවිඩ යැවීමට යොදාගනී. පණිවිඩ පමණක් නොව 25MB වලට අඩු ඇමුණුම්(වීඩියෝ,පින්තූ,ලිපිගොනු) යනාදිය හුවමාරු කළ හැක.බොහෝ ආයතනවල ප්‍රධාන සන්නිවේදන තාක්ෂණය ලෙස විද්‍යුත් ලිපි යැවීම භාවිතා කෙරේ.විද්‍යුත් ලිපිනයක් අන්තර්ජාලය තුලදී පුද්ගල අන්‍යතාවය සනාථ කිරීමට භාවිතා කළ හැක.Gmail, Yahoo, Microsoft Outlook, Apple mail, Hiri, Spark, Claws mail, Airmail, Opera Mai දැක්විය හැක.

අතත්‍ය සමාජය තුලදී පුද්ගල අකටයුතුකම්,හිරිහැර,කීර්තිනාමයට කැලැල් ඇතිවීම යනාදියද සිදුවේ.පුද්ගල අනන්‍යතාවයට හානිවන අන්තර්ගතයන් අතත්‍ය සමාජය තුල පැතිරවීම,මනංකල්පිත ගිණුම් වලින් පුද්ගලයන් පෙනී සිටිමින් අනෙක් අයවලුන් රැවටීම,දත්ත සොරා ගැනීම,ගිණුම්වලට අනවසර ප්‍රවේශය ,විනාශකාරී වැඩසටහන්(Malware) පැතිරවීම,ගිණුම් වල,වෙබ් පිටුවල,සමාජජාල ගිණුම් වල අන්තර්ගතයන් වෙනස්කිරීම,කප්පම් ඉල්ලීම යනාදිය උදාහරණ ලෙස දැක්විය හැක.මෙනිසා අතත්‍ය සමාජය,අතත්‍ය සමාජයක් ලෙසම සිතා ආරක්ෂකාරීව භාවිතා කිරීම නුවනට හුරුවේ.

අංකිත අලෙවිකරණය(Digital Marketing)

 අංකිත අලෙවිකරණය(Digital Marketing)


අන්තර්ජාල,වෙබ් අඩවි,සමාජ මාධ්‍යය හා වෙනත් අංකිත මාධ්‍යය වල භාවිතය ඉතා සීග්‍රයෙන් ඉහල යන යුගයක අප ජීවත්වෙමින් සිටින්නෙමු.ව්‍යාපාර ලෝකයේ මෙම යුගයට ගැලපෙන පරිදි නව්‍යකරණය වෙමින් ඉදිරියට ගලායයි.

1990 දී අංකිත අලෙවිකරණ සංකල්පය බිහිවිය. අන්තර්ජාල අලෙවිකරණය,වෙබ් අලෙවිකරණය ආදී නම් වලින් හැඳින්වුණු අංකිත අලෙවිකරණය වර්තමානයේ ප්‍රබලම අලෙවිකරණ මාධ්‍ය වී හමාරය.

සාම්ප්‍රදායික අලෙවිකරණයේ පමණක් වර්තමාන හා අනාගත ලෝකයට ගැලපෙන පරිදි භාණ්ඩ හෝ සේවා විකිණිය නොහැකි තත්වයකට පත්ව ඇත.ඊට හේතු ලෙස,මිනිසුන් අතීතයට වඩා කාර්ය බහුල වීම,අවශ්‍යතා බහුල වීම,විද්‍යුතමය අංකිත උපකරණ(පරිගණක,ජංගම දුරකථන)යනාදියේ වැඩිපුර කාලය ගතකිරීම,ව්‍යාපාරික ලෝකය පෙරට වඩා තරගකාරී වීම,පාරිභෝගිකයන් තාක්ෂණික ක්‍රම වලට වැඩි කැමැත්තක් දැක්වීම,වඩා ඉක්මනින් ගනුදෙනු කිරීමට පෙළඹීම යනාදිය දැක්විය හැක.

ඉහත හේතුසාධක නිසා අන්තර්ජාලය මත පදනම්වූ අලෙවිකරණ උපක්‍රම අනුගමනය කිරීමට භාණ්ඩ හා සේවා සපයන ආයතන නැඹුරුතාවයක් දක්වයි.අංකිත අලෙවිකරණය සදහා අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර(Search engines),සමාජ මාධ්‍ය(Social media),විද්‍යුත් තැපෑල(Email),බ්ලොග් අඩවි හරහා තම පාරිභෝගිකයන් වෙත භාණ්ඩ හා සේවා අලෙවිකරනු ලබයි.මේ හරහා පාරිභෝගිකයන්ට සේවාවන් ලබාගැනීමට බහුමාධ්‍ය තාක්ෂණයන් උදව් කරගනී.ඒ හරහා වඩා ආකර්ෂණීය ලෙස සිත් ඇදගන්නා ලෙස අලෙවිකරණ ක්‍රියාවලිය අන්තර්ජාලය හරහා සිදුකරනු ලබයි.අංකිත අලෙවිකරණයේදී ව්‍යාපාරික ආයතන පහත සදහන් තාක්ෂණික ක්‍රම යොදාගනු ලබයි.

සෙවුම්යන්ත්‍ර ප්‍රශස්ථකරණය (Search Engine Optimization-SEO)-මෙම තාක්ෂණය හරහා ව්‍යාපාරික වෙබ් අඩවි වෙත තදබදයක්(Traffic) ඇතිකිරීම තුලින් අදාල වෙබ්අඩවියට වැඩි ගණුදෙනුකරුවන් ප්‍රමාණයකට පිවිසීමට අවස්ථාව ලබා දේ. මුදල් නොගෙවා වෙබ්අඩවි වලට පිවිසීමේදී තදබදයක් ඇතිකිරීම මෙම තාක්ෂණයේ අරමුණ වේ.මේ සදහා රූප ,වීඩියෝ,අධ්‍යාපන,ප්‍රවෘත්ති සෙවීම,කර්මාන්ත විශේෂිත සෙවුම් යන්ත්‍ර (Industry Specific vertical search)යනාදිය දැක්විය හැක.

සමාජ මාධ්‍ය අලෙවිකරණය(Social media marketing)- මෙම ක්‍රමය හරහා ප්‍රකට සමාජ මාධ්‍යය වලට ව්‍යාපාරික ආයතන ප්‍රචාරක දැන්වීම් ඇතුලත් කිරීම හරහා තම භාණ්ඩ හෝ සේවා පාරිභෝගිකයන් වෙත ප්‍රචාරණය කරනු ලබයි.මෙහිදී පාරිභෝගිකයන්ට එම දැන්වීම් හුවමාරු කිරීමට,අදහස් දැක්වීමට,ගුණදොස් විවේචනයට අවස්ථාව ලැබේ.මෙම උපක්‍රමය Earned media” ලෙස හැඳින්වේ.සමාජ මාධ්‍යය වෙබ් අඩවි තුල නිර්මාණය කොට ඇති දත්ත විශ්ලේෂණ මෙවලම්(Data analytics tools) හරහා තම ආයතනයේ දැන්වීම් වල සාර්ථකවය පිළිබඳව විමසා බැලියහැකි වීම සමාජ මාධ්‍ය අලෙවිකරණය ආයතන වල ප්‍රචලිත වීමට හේතුවකි.

වීඩියෝ අලෙවිකරණය (Video marketing) - ආයතනයක් මගින් ලබාදෙන භාණ්ඩයට හෝ සේවාවට අදාලව නිර්මාණය කරන ලද ආකර්ෂණීය වීඩියෝ පට අන්තර්ජාලයේ ව්ව්ධ වෙබ් අඩවි තුලට උඩුගතකිරීම(Upload)හරහා පාරිභෝගිකයන් තුල රුචිකත්වක් ඇතිකිරීම තුලින් අලෙවිකරණය සිදුකරයි. වර්තමානයේ මෙම අලෙවිකරණ උපක්‍රමය වඩා සාර්ථක වී ඇත.

විද්‍යුත් තැපැල් අලෙවිකරණය (Email marketing)- විද්‍යුත් තැපැල් පණිවිඩයක් යැවීම හරහා භාණ්ඩ හෝ සේවාවන් අලෙවි කිරීම මෙහිදී සිදුවේ. මේ හරහා යම්කිසි භාණ්ඩයක් හො සේවාවකට අදාල දැන්වීම,වීඩියෝ පට ආදිය ඉලක්ක කරගත් පාරිභෝගික කණ්ඩායම් වෙත විද්‍යුත් තැපැල් පණිවිඩයක් ලෙස යැවීමට සැලැස්වීම හරහා එම පාරිභෝගිකයන්ගේ විශ්වාසය,පක්ෂපාතීත්වය ඇති කිරීම හරහා ආයතන තම අලෙවිකරණ ක්‍රියාවලි සාර්ථක කරගනී.

බ්ලොග් අඩවි අලෙවිකරණය (Blog marketing)- ව්‍යාපාරික ආයතනයක් විසින් නිර්මාණය කරනු ලබන බ්ලොග් අඩවි තුලට භාණ්ඩ හෝ සේවා පිළිබඳව ප්‍රදර්ශක(Post), විස්තර, ගුණදොස්, අතුලත්කිරීම හරහා ඒ පිළිබඳව පාරිභෝගිකයා තුල විශවාසයක් ඇතිකොට අලෙවිකරණයේ යෙදීම මෙහිදී සිදුවේ.

අංකිත අලෙවිකරණයේදී ආයතන විසින් අලෙවිකරණය යම්කිසි සැලැස්මකට අනුව සිදුකරනු ලබයි.මේ සදහා පහත උපක්‍රම හා ක්‍රමවේදයන් අනුගමනය කරයි.

පුරෝකථන විශ්ලේෂණය- මේ සදහා “Data mining"ලෙස හැදින්වෙන මෙවලම් භාවිතා කොට යල්පැනගිය දත්ත විශ්ලේෂණය කොට අනාගත පාරිභෝගික අවශ්‍යතා හෝ හැසිරීම් රටා විශ්ලේෂණය කොට පුරෝකථන ඉදිරිපත් කරයි.

පාරිභෝගික පෞද්ගලිකත්වය (Consumer privacy)- පරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය හා ඔවුන්ගේ හැසිරීම් රටා, භාණ්ඩ හෝ සේවා පිළිබද රුචිකත්වය යනාදිය නිරීක්ෂණය කිරීමෙන් ඒ ඒ පාරිභෝගිකයාගේ ව්ශේෂිත අවශ්‍යතා හඳුනාගැනීම.

අලෙවිකරණ උපක්‍රම (Marketing Strategies)- අලෙවිකරණ උපක්‍රම අංකිත අලෙවිකරණයේදී ඉතා වැදගත් සාධකයකි. එයට හේතුව පාරිභෝගිකයා ඍජුවම මුණ නොගැසෙන බැවිනි.මේ සදහා භාවිතා කරන අලෙවිකරණ උපක්‍රම කිහිපයක් ලෙස,ආකර්ෂණීය වෙබ් අඩවි නිර්මාණය,SEO,අනුබද්ධිත වැඩසටහන් භාවිතය,විද්‍යුත් තැපෑල භාවිතය,බ්ලොග් අඩවි පවත්වාගෙන යාම,සමාජ මාධ්‍ය,වෙබ් පෝරම භාවිතය,Google+, Twitter වැනි සේවාවන් භාවිතය දැක්විය හැක.”Zenmedia” වෙබ් අඩවියතුල මෙවැනි අංකිත අලෙවිකරණ උපක්‍රම 51 දක්වා ඇත.

අංකිත අලෙවිකරණයේදී ව්‍යාපාරික ආයතන විසින් විද්‍යුත් තැපැල් අලෙවිකරණ උපක්‍රමය හරහා භාවිතා කරන ආයචිත තැපැල් ක්‍රමය(Spam) නිසා පාරිභෝගිකයන් අපහසුතාවට පත්වේ.ආයචිත තැපැල් නිසා විනාශකාරී වැඩසටහන් හෝ කේත (Malicious Programs or code)පාරිභෝගිකයින්ගේ පරිගණක වෙත ස්වයංක්‍රීයව ස්ථාපනය වේ.කෙසේ වෙතත් මෙවැනි විනාශකාරී තාක්ෂණික ක්‍රියාවන් අංකිත අලෙවිකරණයට බාධා පමුණුවයි.

Friday, June 18, 2021

අංකිත බෙදීම(Digital Divide)

අංකිත බෙදීම(Digital Divide)

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මිනිසුන් අතර ප්‍රචලිත වූවාසේම එම තාක්ෂණය ලොව සැමටම එකම ආකාරයකට බුක්තිවිදිය නොහැකිය.දියුණු මෙන්ම දියුණු වෙමින් පවතින රටවල් අතර මෙම තාක්ෂණය භාවිතා කිරීම හෝ භාවිතයේ අඩුකම,මිනිසුන්ගේ අංකිත සාක්ෂරතාවයේ අඩුවැඩි බව නිසා මිනිසුන් මෙන්ම අටවල් අතරද බෙදීමක් ඇතිකරයි.

එසේනම් අංකිත බෙදීම යනු කුමක්ද?අංකිත බෙදීම යනු “තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීමට ඇති පසුකම සහ හැකියාව,හැසිරවීමේ හැකියාව සහ ඒ පිළිබඳව ඇති දැනුම මිනිසා ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් වෙන්කිරීමයි".අංකිත බෙදුමට හේතු සාධක කිහිපයක් පහත පරිදි දැක්විය හැක.

උගත්කම-තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදුම් සහ ඒවායෙහි ඵල ප්‍රයෝජන මොනවාදැයි දන්නා බව සහ නොදන්නා බව.

තාක්ෂණික හැකියාව - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීමට හැකියාවක් ඇති ඒ පිළිබඳව දැනුම ලබාගත් මිනිසුන්ද, කිසිම ආකාරයේ දැනුමක් නොමැති මිනිසුන්ද අතර එකිනෙකා හා සම්බන්ධතා ඇති නොවේ.

වත් පොහොසත් බව- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හැදෑරීමට අවශ්‍ය වුවද එහි යෙදුම් භාවිතා කිරීමට අවශ්‍ය වුවද ඒ සදහා අවශ්‍ය පිරිවැය දැරීමට නොහැකිවීම.

කාර්මික වූ නොවූ බව - රටක් කාර්මිකකරණය වීම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යෙදුම් භාවිතා වීමට එක් හේතුවකි. එසේ නොවූ කල රටකින් රටකට අංකිත බෙදීම දක්නට ලැබේ.

ජීවන රටාව-නාගරිකව ජීවත් වන මිනිසා ඉතා කාර්ය බහුලය. ඔවුන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදුම් බොහෝ ලෙස යොදාගනී.නමුත් ගම්බද ජීවන රටාවකට යොමුවූ මිනිසා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් පිළිබඳව සැලකිල්ලක් නොදක්වයි.මෙයද අංකිත බෙදුමට හේතුපාදක වී ඇත.

අංකිත බෙදුමට විසදුමක් ලෙස “අංකිත සේතුව- Digital Bridge” දැක්විය හැක.අංකිත සේතුව ඇතිකිරීම සදහා “අංකිත සාක්ෂරතාවය - Digital Literacy” පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත් වේ.අංකිත සාක්ෂරතාවය ලෙස හැඳින්වෙන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව මිනිසා ලබාගන්නා දැනුම් සම්භාරයටයි.අංකිත සාක්ෂරතාවය ඇතිමිරීම නිසා මිනිසාට පහත සදහන් වාසි ලබාගත හැකිවේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික යෙදවුම් භාවිතා කිරීමේ අවශ්‍යතාවය තේරුම්ගැනීම හා ඒ පිළිබඳව උනන්දුවක් ඇතිවීම.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික යෙදුම් භාවිතා කිරීමේදී ඇතිවන ගැටලු බොහෝ දුරට නිරාකරණය කරගැනීමට හැකිවේ.

බිල්පත් ගෙවීම, අධ්‍යාපනික තොරතුරු ගවේෂණය හා රැස්කිරීම, වෛද්‍ය තොරතුරු අනාවරණය යනාදී බහුවිධ අවශ්‍යතාවයන් අන්තර්ජාලය භාවිතා කිරීම තුලින් සිදුකරගැනීම වඩා පහසු බව වටහා ගැනීම, යනාදිය අංකිත සාක්ෂරතාවයේ වාසි ලෙස දැක්විය හැකිය.

අංකිත සේතුව ඇතිකිරීම සදහා ආර්ථික දුෂ්කරතා ඇති ළමයින්ට පරිගණක ලබාදීම දැක්විය හැක. මේ සදහා රාජ්‍ය,රාජ්‍ය නොවන ආයතන වල මැදිහත්වීම් දිරි ගැන්වීම වැදගත් වේ.

අනෙකුත් මූල්‍ය බාධම ඉවත්කිරීම හා සැමට සම අවස්ථා ලබාදීමද සිදුකිරීම වැදගත් වේ.මෙහිදී අඩු මුදලට පරිගණක,අන්තර්ජාල සම්බන්ධතා ලබාදීම සිදුකල හැක.මේ සදහා රාජ්‍ය,පෞද්ගලික මෙන්ම රාජ්‍ය නොවන ආයතන වල මැදිහත්වීම ඉතා වැදගත්වේ.

අතරමැදියන්ගේ සහභාගීත්වය හරහා අංකිත සාක්ෂරතාවය ඇතිකිරීමට වැඩපිළිවෙළක් සකස්කල හැක.

අංකිත බෙදීම නැතිකිරීම සදහා අංකිත සේතුව ඇතිකිරීම විසඳුම වුවද රටක රජයකට ඒ සදහා විශාල වගකීමක් මෙන්ම නිශ්චිත හා ප්‍රයෝගික වැඩපිළිවෙළක් ගොඩනගාගත යුතුය.රටක අනාගත අභිවෘද්ධිය සදහා රටක හුදු මහජනතාවට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් පිළිබඳව මනා අවබෝධයක් නියත වශයෙන්ම පැවතිය යුතුය.එය කාලීන අවශ්‍යතාවයකි.පාසල් විෂය මාලාවට අනිවාර්ය විෂයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇතුලත් කිරීම කාලෝචිත ක්‍රියාවක් වන අතර ප්‍රායෝගික ක්‍රියාකාරකම් සදහා සෑම පාසලකම පරිගණක විද්‍යගාරයක් මෙන්ම සුදුසුකම්ලත් ගුරුභවතුන් අනුයුක්තකිරීම හරහා කුඩාකල සිටම ළමයින්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම ලබාදිය යුතුය.ඒ හරහා අනාගත ප්‍රජාව ඉබේම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය වෙත නැඹුරු වනවා සේම භාවිතයන් පිළිබඳවද මනා දැනුමක් මෙන්ම හුරුවක්ද ලබාගනු ඇත.

Thursday, June 17, 2021

විද්‍යුතමය කෘෂිකර්මය(E- Agriculture)

විද්‍යුතමය කෘෂිකර්මය(E- Agriculture)


කෘෂිකර්මාන්තය යනු ශ්‍රීලංකාව වැනි දියුණුවෙමින් පවතින බොහෝ රටවල මිනිසුන්ගේ ප්‍රධානතම ජීවන උපායයි.නවීන ලෝකයේ පවතින දැඩි තරගකාරීත්වය කෘෂිකර්මාන්තයටද විශාල බලපෑමක් ඇතිකර ඇත.එම තරගකාරීත්වය නිසාම සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම භාවිතාකිරීම හරහා ඉල්ලුමට සරිලන,ගුණාත්මක අස්වැන්නක් අවශ්‍ය අවස්ථාවල,ඉක්මනින් ලබාදීම පිළිබඳව ගැටලුවක් ඇත.මෙයට විසඳුම තාක්ෂණික ක්‍රම කෘෂිකර්මාන්තය සදහා ගැලපෙන පරිදි යොදාගැනීමයි.

මේ සදහා විද්‍යුතමය කෘෂිකර්මය කදිම පිළිතුරකි.එසේනම් විද්‍යුතමය කෘෂිකර්මය යනු කුමක්ද?විද්‍යුතමය කෘෂිකර්මය(E- Agriculture) යනු,”තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කෘෂිකර්මාන්තය සදහා යොදාගැනීමයි”.මේ හරහා කෘෂිකර්මාන්තය වඩා ඵලදායී ලෙස,නියමිත තාක්ෂණයට අනුව සිදුකරගැනීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මෙන්ම ඒ හා බැදනු අන්තර්ජාලය,සාර්ව ද්‍රව්‍යාඅන්තර්ජාලය,(Internet of Things-IOT) වැනි තාක්ෂණයන් මෙන්ම පරිගණක,ජංගම දුරකථන,සංවේදක,රොබෝ තාක්ෂණය මෙන්ම වෙනත් තාක්ෂණික උපකරණ යනාදිය භාවිතා කිරීමයි.

විද්‍යුතමය කෘෂිකර්මය හේතුවෙන් වඩා වැඩි අස්වැන්නක් ඉතා ඉහල ගුණාත්මක තත්වයකින් යුක්තව ලබාගත හැක.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විවිධ අවස්ථා වලදී(වගා භූමිය සැකසීම,පැල රෝපණය,වල්පැල නෙලීම,පොහොර හා ජලය යෙදීම,වල්නාශක යෙදීම, බෝග වර්ධක අවස්ථා නිරීක්ෂණය,පලිබෝධ පාලනය,නව පලිබෝධකයින් හඳුනා ගැනීම,අස්වනු නෙලීම,සැකසීම,පසු අස්වනු තාක්ෂණය) සදහා මෙන්ම සත්ව පාලනයේදී,සතුන්ගේ සංචරණ රටා,සෞඛ්‍ය තත්වය වැනි කාරණා නිරීක්ෂණයට මෙන්ම ගොවිපළ කළමනාකරණයට(Farm Management) යනාදියට මෙන්ම ධීවර කර්මාන්තයටද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කරයි.

කෘෂිකර්මාන්තය සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම් සදහා උදාහරණ කිහිපයක් පහත දැක්විය හැක.

කාලගුණික මිනුම් යන්ත්‍ර- කාලගුණය, දේශගුණය, වර්ෂාපතනය, සුළඟේ වේගය හා දිශාව යන සාධක පෙන්නුම් කරයි. ඒ අනුව බෝග වගාවට හා අස්වනු නෙලීමට සුදුසුම කාලය තීරණය කල හැක.

වගාබිමෙහි තත්වය මනින උපකරණ-මෙමගින් වගාබිමෙහි තෙතමනය, සරු නිසරු බව, පසේ PH අගය යනාදිය නිරීක්ෂණය කොට බෝග වගාවට සුදුසු නුසුදුසු බව තීරණය කරයි.

ස්වයංක්‍රීය වල්පැල නෙලනය-ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන මෙම උපකරණ මගින් වල්පැල හා බෝග වෙන්කර හදුනාගෙන වල්පැල ගලවා ඉවත්කරයි. මේ නිසා ශ්‍රමිකයන් හිඟකම යන ගැටලුවට පිළිතුරු ලබාගත හැක.

රොබෝ තාක්ෂණයෙන් පැල සිටුවීම- විශාල වගාබිම්වල පැල එහාමෙහා ගෙනයාමටත් පැල අතර පරතරය නිසිලෙස පවත්වාගෙන පැල සිටුවීමට මෙම යන්ත්‍ර යොදාගනී.

ස්වයංක්‍රීය ජල සැපයුම (Drip irrigation)- පසට යොමුකොට ඇති තෙතමනයට සංවේදී ක්ෂුද්‍ර සංවේදක හරහා වගාබිමේ තෙතමනය පරීක්ෂා කොට සුදුසු අවස්ථාවලදී ස්වයංක්‍රීයව ජල සැපයුම සිදුකරයි.

ස්වයංක්‍රීය කුරුමිණිපාලන යන්ත්‍රය - මේ හරහා ක්ෂුද්‍ර සංවේදක භාවිතා කොට වගාබිමෙහි සැරිසරන කුරුමිණිවර්ග, සිටින දිශාව, වර්ධාය වන ආකාරය හඳුනාගැනීම හා ග්‍රහණය කරගැනීම සිදුකරයි.

රොබෝ තාක්ෂණයෙන් අස්වනු නෙලීම- වගාබිමේ සවිකොට මෙන්ම ජංගම උපකරණ මගින් ශාකයක ඵලදාව නිරීක්ෂණය කොට සුදුසු වර්ධන අවස්ථාවල පවතින අස්වනු නෙලාගැනීමට භාවිතා කරයි.

හරිතාගාර(Greenhouse) - භෝග වගාවේදී වර්ෂාව, සුළඟ, උෂ්ණත්ව, කෘමීන්, වසංගත ආදියෙන් බෝග ආරක්ෂාකොට වඩා ගුණාත්මක අස්වනු ලබාගැනීම සදහා හරිතාගාර භාවිතා කරයි. හරිතාගාර තුල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් වගාවන්ට උචිත ලෙස ආර්ද්‍රතාව,ජලය,වාතය,උෂ්ණත්වය  හා ආලෝකය පාලනය කිරීම සිදුකරයි.

ගුවන්විදුලි සංඥා හැඳුනුම් උපකරණය (Radio Frequency Identification Device-RFID)- රේඩියෝ ක්ෂුද්‍ර තරංග භාවිතයෙන් ගොවිපලෙන් දුරස්ථව සිටින සතුන් හඳුනාගැනීම, ගණනය කිරීම සිදුකරයි. මේ සදහා එම ගොවිපළ සතුන්ගේ RFID උපකරණය සවිකොට ඇති අතර පාලන මද්‍යස්ථානය වෙත රේඩියෝ ක්ෂුද්‍ර තරංග හරහා සම්බන්ධ වේ.

තත්වපාලනය- ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන තත්වපාලන උපකරණ මගින් එළදෙනුන්ගෙන් ලබාගන්නා කිරිවල තත්වය පරීක්ෂා කරනු ලබයි.

ගොවිපළ ආරක්ෂාව - ගොවිපළක සතුන්, අස්වනු, වගාබිම්, උපකරණ සොර සතුරන්ගෙන් හා වෙනත් උපද්‍රව වලින් ආරක්ෂා කරගැනීම සදහා CCTV කැමරා, වෙබ් කැමරා, ක්ෂුද්‍ර පාලක යනාදී තාක්ෂණික උපකරණ රැහැන් රහිත මාධ්‍යයන් හරහා සම්බන්ධ කිරීම මගින්, ගොවිපළ පිටස්තර ස්ථානයක සිට වුවද නිරීක්ෂණය කල හැකිය.

ගොවිපළ කළමනාකරණය - ගොවිපළ හිමියාට තම ගොවිපළෙහි වාර්ථා තබාගැනීම, ලාභ අලාභ ගණනයට, සේවක වැටුප්, අස්වනු පිළිබඳ තොරතුරු ආදිය තැන්පත් කරගැනීම සදහා ජංගම දුරකථන, පරිගණක ආදියෙහි සථාපනය කර ඇති ගොවිපළ කළමනාකරණ මෘදුකාංග හරහා සිදුකරගත හැක. එලෙසම අන්තර්ජාලය හා සම්බන්ධ වී වෙළදපොල තත්වය නිරීක්ෂණයෙන් අස්වනු විකිණීම හා සම්බන්ධ තොරතුරු ලබාගත හැක.ඒ අනුව වෙලදපොළ ඉල්ලුම අනුව සැපයීම් සිදුකොට වඩා වැඩි ලාභයක් උපයාගත හැක.

ධීවර කර්මාන්තයේදී- ක්ෂුද්‍ර සංවේදක මගින් මසුන් සිටින ප්‍රදේශ හදුනාගෙන එම තොරතුරු, සන්නිවේදන ක්‍රම ඔස්සේ ධීවර යාත්‍රවල ඇති පරිගණක වෙත ලබාදේ.

GPS (Global Positioning System) මගින් වගාබිම්වල මැනීම් කටයුතු සිදුකිරීමට් භාවිතා කරයි.

මෙවැනි තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කිරීම මගින් වර්තමාන හා අනාගත කෘෂි අවශ්‍යතා ,ඉහල ගුණාත්මක තත්වයකින්,කලට වේලාවට,අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් හා සාධාරණ මිලක් යටතේ ලබාදිය හැක.නමුත් තාක්ෂණයෙන් ඌණ සංවර්ධිත රටවලට මෙම තාක්ෂණයන් යථාර්ථයක් කරගැනීමට දැඩි කැපවීමක් හා උනන්දුවක් පැවතිය යුතුවේ.

Monday, June 14, 2021

වෙබ්2.0 - Web 2.0

වෙබ්2.0 - Web 2.0


අප දැනටමත් අන්තර්ජාලය,වෙබ් අඩවි තුල නිරතුරුවම සැරිසරන්නෙමු.එහි ඇති බහුමාධ්‍යන් භාවිතා කරන්නෙමු.ප්‍රවෘත්ති,කාලගුණ වාර්ථා,විනෝදකාමී වැඩසටහන්,චිත්‍රපට,සමාජජාලා,අන්තර්ජාල ආශ්‍රිත ක්‍රීඩා එදිනෙදා ජීවිතය හා බද්ධවී ඇත.

එසේනම් වෙබ්2.0 යන තාක්ෂණය කුමක්ද?වෙබ් 1.0 යන සංකල්පයේදී වෙබ් අඩවි පරිශීලකයන්ට එම වෙබ් අඩවි තුල පවතින අන්තර්ගතයන් පරිහරණයට පමණක් ඉඩ ලැබුණි.නමුත් වෙබ්2.0 තාක්ෂණයේදී පරිශීලකයන්ට වෙබ් අඩවි තුලට බහුමාධ්‍යන් ආතුලත්කිරීමට අවස්ථාව ලබාදී ඇත.මෙය මෙය වෙබ්2.0 තාක්ෂණයේ ඇති පැහැදිලිම වෙනසයි.විකි,බ්ලොග්,සමාජ මාධ්‍යය තුල බහුලව පවතින්නේ පරිශීලකයන් විසින් ඇතුලත් කල බහුමාධ්‍යන් වේ.

වෙබ්2.0 හි පරිශීලකයන් එකිනෙකා අතර තොරතුරු සමාජ ජාල මූලික කරගෙන හුවමාරු කරගනී.මෙහිදී අතත්‍ය සමාජයක්(Virtual Community) බිහිවී තිබේ.වෙබ් 2.0 තාක්ෂණයේ ප්‍රධාන ලක්ෂණ ලෙස,

තොරතුරු වර්ගීකරණය කලහැකි වීම. (Folksonomy)

ඉහල පරිශීලක අත්දැකීම් (Rich user participation). උදාහරණ ලෙස,විකිපීඩියාහි අන්තර්ගතයන් පරිශීලකයන්ට වෙනස්කල හැකිලෙස සකසා තිබීම.

ඉහල පරිශීලක සහභාගීත්වය (Rich user participation)

මෘදුකාංග සේවාවක් ලෙස ලබාදීම. (Software as a service-SaaS)- වලාකුළු පරිගණක තාක්ෂණික සේවාවක් ලෙස සැලකෙන මෙම සේවාව වෙබ් අතරික්සුව මත භාවිත මෘදුකාංග ක්‍රියාත්මක කරගතහැකි තාක්ෂණයකි.

බහුතර සහභාගීත්වය (Mass participation) යනාදිය දැක්විය හැක.

මෙම වෙබ් අඩවිවල සෙවුම්,අධිසන්ධාන,අන්තර්ගතයන් වෙනස්කිරීමේ බලය,ඇමුණුම්,මෘදුකාංග කොටස් එකතුකිරීම,සංඥා ක්‍රම(RSS)වැනි ගතිලක්ෂණ හා තාක්ෂණයන් දක්නට ලැබීම වෙබ්1.0 හා සැසදීමේදී හමුවන පැහැදිලි වෙනස්කම් වේ.

වෙබ් 2.0 තාක්ෂණයේ වැදගත් කොටසක් වන සමාජ වෙබ් අඩවි(Social websites)දැක්විය හැක.මෙම වෙබ් අඩවි තුල මාර්ගගත යෙදවුම්(Online tools) හා පරිශීලකයන් අතර අදහස්,සංකල්ප,පළපුරුද්ද,හැගීම් යනාදිය හුවමාරුකරගැනීමට මනා වේදිකාවක් සපයයි.මෙම වෙබ් අඩවි තුලදී පරිශීලකයා,පරිශීලකයෙකු පමණක් නොව වෙබ් අඩවි පෝෂණය සදහා උදව්කරුවෙකුද වේ.මේ සදහා පොඩ්කාස්ට්,බ්ලොගින්,ටැගින්ග්,කර්වින්ග් විත් RSS, Social bookmarking,සමාජ ජාල,සමාජ මාධ්‍ය,විකි,Web content voting(Review or Rating site) භාවිතා කරයි.වෙබ් 2.0 තාක්ෂණය බ්ලොග්,විකි,සමාජ ජාල යන තාක්ෂණයන් නිසා ලොවපුරා ප්‍රසිද්ධ වී ඇත.

මෙම තාක්ෂණය සමාගම්,ලාභ නොලබන ආයතන(Non-profit organization),රජයන් විසින් තම සේවාලාභියා වෙත විවිධ භාණඩ,සේවාවන් සැපයීම සදහා අලෙවිකරණ මාධ්‍යයක් ලෙසද භාවිතා කරයි.වෙබ්2.0 මෙවලම් භාවිතයෙන් පාරිභෝගිකයන් සම්බන්ධ කරගැනීම හරහා ඔවුන්ගේ භාණ්ඩ,සේවාවන් දියුණු කරගැනීම හා ප්‍රචාරණය කරගැනීමට භාවිතා කරයි.මෙම ආයතන අතර සම්බන්ධතාවයන් ගොඩනගාගැනීම,පවත්වාගැනීම,වැඩිදියුණුකර ගැනීම,නව ව්‍යාපාරික සහකරුවන් සොයා යාම සදහාද භාවිතා කරයි.

සංචාරක ක්ෂේත්‍රය(Tourism industry) තුලදී වෙබ්2.0 තාක්ෂණය ඉතා සාර්ථක වී ඇත.අතත්‍ය සමාජ ජාල(Virtual networks) ගොඩනගාගැනීම හරහා සංචාරක සමාගම් තම ව්‍යාපාරික කටයුතු මනාව සිදුකරගනී.”Trip advisor” වැනි මාර්ගගත සාකච්ඡා පෝරම (Discussion forum) හරහා සංචාර, හෝටල්, ගමනාන්ත සදහා උදව් ලබාගනී. සමාජජාල වෙබ් අඩවි සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සදහා වෙබ්2.0 තාක්ෂණය මනා පිටුවහලක් දක්වයි.

අධ්‍යාපන ක්ෂේත්‍රය සාදහාද වෙබ් 2.0 තාක්ෂණය මනා සහයෝගයක් දක්වයි.බ්ලොග් අඩවි හරහා තම දැනුම පහසුවෙන් සමාජගත කල හැකි වීම විශාල වාසියකි.මාර්ගගත(Online) අධ්‍යාපනය සදහා විවිධ මෘදුකාංග වලට ක්‍රියාත්මක වීමේ හැකියාව ලැබී ඇත.වදන් සැකසුම්,පැතුරුම්පත්,ප්‍රදර්ශණ මෘදුකාංග “Ajax” වැනි වෙබ් අඩවි දියුණු කරන තාක්ෂණයන් හරහා පරිශීලකයන්ට ලබාගත හැකිවී ඇත.

“EyeOs”, ”YouOs” වැනි සේවාදායක පරිගණක හරහා ක්‍රියාත්මකවන මෙයෙහුම් පද්ධති වෙබ්2.0 මත මනා සේවයක් පරිශීලකයන්ට ලබාදේ.

වෙබ්2.0 මත ක්‍රියාත්මක වන ගතික වෙබ් අඩවි(Dynamic Websites) හරහා බහුමාධ්‍ය හුවමාරු කිරීම සදහා වේගවත් තාක්ෂණයන් වන XML(Extensible Markup Language) මත පදනම්ව RSS(Really Simple Syndication),RDF(Resource Description Framework)හා Atom ලෙස හැඳින්වෙන වෙබ් ප්‍රමිතීන් භාවිතා වේ.මද්‍යගත වෙබ් අඩවි මත අන්‍යොන්‍ය ලෙස බලපැවැත්වීම සදහා FOAF(Friend of a friend)- මේ හරහා පරිශීලක කණ්ඩායම් වලට මද්‍යගත දත්ත ගබඩාවක් රහිතව සමාජජාල් හරහා සම්බන්ධ විය හැක. XFN (XHTML Friends Network) නමින් හැඳින්වෙන HTML (Hyper Text Markup Language) මත පාදක වූ ප්‍රොටොකෝලය(Protocol) මගින් පරිශීලකයන් අතර සංධාන(Links) හරහා සබඳතා ගොඩනගාගැනීමට නිපදවා ඇත.

වෙබ් 2.0 තාක්ෂණය හරහා ක්‍රියාත්මකවන  REST” ආකෘතිය හා SOAP” හරහා භාවිත වැඩසටහන් අතුරුමුහුණත්(Application Programming Interface-API) භාවිතා කිරීමට හැකියාව ලැබී ඇත.

වෙබ් තාක්ෂණයේ නිර්මාතෘ වන “Tim burners lee” විසින් වෙබ්2.0 පිළිබඳව ප්‍රකාශ කොට ඇත්තේ, කිසිවෙකු වෙබ්2.0 පිළිබඳව සත්‍යවශයෙන් නොදන්නා බවත්,බ්ලොග් හා විකි වැනි වෙබ් අඩවි හරහා මිනිසුන් හා මිනිසුන් අතර පවතින සබඳතාවයක් බවයි.කෙසේ නමුත් වෙබ් යනු මිනිසුන් එකිනෙකා අතර සහයෝගයෙන් ක්‍රියාකිරීම සදහා නිර්මාණය කොට ඇති වඩා රසවත් අවකාශයක් බවයි”.

2026 A/L ICT Classes